අයෝධ්‍යා දක්ෂිකා කියන්නෙ රගපෑමට ආදරය කරන රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න සරළ යුවතියක්. සරුව පිත්තල ලෝකයක් තුළ බැබලීමක් නොලැබුණද මේ මොහොතේත් අයෝධ්‍යා ටෙලිනාටය හා සිනමාව තුළ චරිත ලැබෙන සක්‍රිය චරිතයක්. මේ ඇය ගැන තොරතුරුයි.
අයෝධ්‍යා මේ දවස්වල තට්ටු දෙකේ ඉස්කොලේ උගන්වනවද ඉගෙන ගන්නවද?
ලලිත් රෝහිත් එදිරිසිංහගේ තට්ටු දෙකේ ඉස්කෝලෙ තමයි මේ දිනවල මම සම්බන්ධ වුණ සිනමා නිර්මාණය. මේකෙ රූපගත කිරීම් නම් දැන් ඉවරයි. හඬ කැවීම් කටයුතු වලට සහභාගි වෙනවා. ඊට අමතරව වාර්තා වැඩසටහනකටත් රංගනයෙන් දායක වුණා.
අයෝධ්‍යාගේ රංගනය මේ දිනවල අපිට දැකගන්නත් අවස්ථාව තියෙනවද?
පහුගිය දවස්වල ටෙලිනාට්‍යයක් විකාශනය වුණා. ඉදිරි කාලයේ මම රඟපාපු ටෙලි නාට්‍ය 12 ක් විකාශනය වීමට නියමිතව තියෙනවා.
මේ අවුරුද්ද අයෝධ්‍යාට විශේෂ එකක්ද?
ඔව්. මේ අවුරුද්ද වෙත්දි මම කලාවට ඇවිත් අවුරුදු 21 ක් වෙනවා. මම 1998 දී ළමා රංගන ශිල්පිණියක් විදිහටයි ක්‍ෂේත්‍රයට ආවෙ. මට පළවෙනි ටෙලිනාට්‍යයේම ප්‍රධාන චරිතයක් ලැබුණා. ඊට පස්සෙ මම තුන්වැනියට රඟපෑ ටෙලිනාට්‍යයෙන් මගේ රංගන දිවියේ මා ලද පළමුවැනි සම්මානය හිමිවුණා. එදා මම රාජ්‍ය ටෙලි නාට්‍ය උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මාන ලැබුවා.
මේ අවුරුද්ද වගේම ලබන අවුරුද්දත් සුබ කරගන්න අදහසක ඉන්නවලූ නේද?
ලබන වසරේ මගේ විවාහය සිද්ධ වීමට නියමිතයි.
ඔහු කලාව තුළින්ම හඳුනාගත් කෙනෙක්ද?
කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා වෙළෙඳ නාවික නිළධාරියෙක්. නම ගිහාන්.
ඔහු ඔබේ රසිකයෙක්ද?
මගේ හොඳම යාළුවෙක් හරහා තමයි අපි හඳුනාගන්නෙ. වසර හතරක ප්‍රේම සබඳතාවකින් පස්සෙ තමයි විවාහයට සුදානම් වෙන්නෙ.
විවාහයෙන් පස්සෙ වෙනස් කරගන්න හිතන දේවල් මොනවාද?
එයාට රංගනය ගැන හොඳ අවබෝධයක් තියෙනව. ඒ නිසා කලාවෙන් අයින් වෙන්නෙ නැහැ. හැබැයි අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ වාද්දුවෙ. විවාහයෙන් පස්සෙ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වෙන සැළසුමක් තියෙනවා.
අයෝධ්‍යා තමන්ව හඳුන්වන්නෙ වෘත්තීය නිළියක් විදිහටද?
ඔව්. මම වෘත්තිය මට්ටමෙන් තමයි කලාව කරගෙන යන්නෙ. කලාව කියන්නෙ හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. ඒක වාසනාවට ලැබෙන දෙයක්. වෘත්තීය නිළියක් කියලා මම ජනප්‍රියත්වය පසුපස දුවන කෙනෙක් නෙවෙයි. තෝරාගත් හොඳ නිර්මාණ වලට දායක වෙනවා.
ඔබ වැනි තෝරාගත් නිර්මාණ වලට දායක වෙන කෙනෙකුට මේ වෘත්තියෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මුදල් කියන කාරණාවක් එක්කනෙ ඔය දේ වෙන්නෙ. මට තවම දෙමවුපියන් එක්ක ජීවත්වෙන නිසා ඔය තත්ත්වය නොදැනෙනව ඇති. රංගනය කියන්නෙ මුදල් මතම පවතින දෙයක් නෙවෙයි. හොඳ චරිතයක් ලැබුණොත් අඩු මුදලක් ලැබුණත් ඒ ගැන නොහිතා චරිතය කරන තැනුත් තියෙනවා.
අයෝධ්‍යා චරිත තෝරාගන්නෙ කුමන පදනමක සිටද?
මටත් දෙයක් කරන්න පුළුවන් මගේ පුද්ගලික ජීවිතයටත් කැළලක් නොවන චරිත එක්ක මම කලාව කරගෙන යනවා. ඒ නිසා වෙන්නැති අවුරුදු 21 ක් මට මේ ක්‍ෂේත්‍රයේ කතාවක් අහගන්නෙ නැතිව ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මම රූගත කිරීම් වලට යත්දි අනිවාර්යයෙන් මගේ අම්මාත් මා එක්ක යනවා. මම විදේශ රටවල තියෙන සංදර්ශන බාරගන්නෙ නැහැ. මොකද මට ඒ ගමන් වලට මගේ අම්මාවත් එක්කගෙන යන්න පහසුකම් නොලැබෙන නිසා.
රංගන ක්‍ෂේත්‍රයේ යම් තැන් පිළිබඳ ඔබට පැහැදීමක් නැතිවා වගෙයි?
හිත රිදෙන තැන් නැතිව නෙවෙයි. සමහර අය අවුරුදු ගාණකින් නිර්මාණ වලත් නැහැ. හැබැයි එයාලට මාධ්‍ය වල අවස්ථා ලැබෙනවා. මේකෙ සුළු චරිතයක් කළත් කියන්නෙ රංගන ශිල්පීන් ශිල්පිණියන් කියලනෙ. එයාල වෙනත් රැකියා හෝ වෙන දේවල් කරලා නීතිය ඉදිරියට ගිය අවස්ථාවල මාධ්‍ය කියන්නෙ රංගන ශිල්පියෙක් අතින් අහවල් දේ සිද්ධ වුණා කියලයි. ඒකෙන් කලාවේ ගරුත්වය නැතිවෙලා තියෙනවා. සමහර වෙලාවට අපි නිර්මාණයක් කළාට පස්සෙ අපි පොරොන්දු වුණ මුදලක් තියෙනවනෙ. ඒ මුදල් ලබාගන්න ගියහම අපි ණයට ඉල්ලනව වගේ අපිව අපහසුවට පත්කරනව. අනික මේකෙ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් රැල්ල තමයි ලස්සනයි නම් මොනව හරි දේකින් ජය අරන් තියෙනව නම් එයා නළුවෙක් නිළියක් කරනවා. ඒකෙන් කලාවේ තියෙන ගරුත්වය නැතිවෙනවා. අලූත් අය එන්න ඕනෑ. එහෙම නෑ කියනව නෙවෙයි. හැබැයි මේකටත් යම්කිසි ප්‍රමිතියක් තියෙන්න ඕනෑ.
හොඳම ළමා නිළිය වූවාට පසුව අයෝධ්‍යාගේ රංගනය අගැයීමට ලක්වෙලා නැතිද?
නැහැ. ඊට පස්සෙ මට කිසිම සම්මානයක් ලැබුණෙ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර සම්මාන උළෙලවලට ආරාධනාවක් වත් මට ලැබිලා නැහැ. මම ක්‍ෂේත්‍රයෙන් අයින් වෙලා ඉඳලත් නැහැ. නමුත් ඔය දේවල් ඔහොමයි සිද්ධ වෙන්නෙ
ධම්මිකා සුරංජි පතිරණ