දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය හා ආදරය ලබා ගනිමින් විවිධ චරිත ඔස්සේ රංගන ක්ෂේත්‍රයේ රැදීම එතරම්ම පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් එදා වගේම ආදරය ලබන්න දමිතා අබේරත්නට පුළුවන් වෙලා තිබෙනවා. මේ ඇය ගැන කතාබහක්.
කාලයක් තිබුණා දමිතාගේ ඇඬිල්ලට ගහන්න නම් කිසිම නිළියක් මේ ක්ෂේත්‍රයේ නැහැ කියලා?
”ඇඬීමත් එක විදිහක කලාවක් තමයි. කාලයක්ම මට එවැනි චරිත ලැබුණා. ඒත් මම ඒවට කොටු වුණේ නැහැ. විවිධ වූ චරිත කරන්න අවස්ථා මට ලැබුණා. අඬන චරිත වුණත් මම කළේ බොහොම ආත්ම තෘප්තියකින්.”
මොනව ද මේ දවස්වල අලූත් වැඩ?
ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේක වෙනස්ම ටෙලි නිර්මාණයක්. මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ ලක්ෂ්මී දමයන්ති අපේ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ. ඒ වගේම මම පොඩි දෙයක් කියන්න ඕන. සුගත් දේවප්‍රිය අයියා වැඩක් කරන්නේ කාලෙකට පස්සේ. ඇත්තටම සුගත් අයියලා වගේ දක්ෂයෝ නිහඬව ඉන්න එක ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්. දුකක්. ඒ අය නිහඬ වීමෙන් වෙන්නේ අපේ කලාව ලොකු කඩාවැටීමකට ලක්වීම. මොකද හොඳ නිර්මාණ කරන දක්ෂයෝ දැන් අඩුයි. මේ විදිහට ගියොත් ඉස්සරහට අපේ කලාව ගොඩගන්න ගොඩක් අමාරු වේවි.”
ඔබව පසුගිය කාලේ නිර්මාණවලින් වැඩිය දකින්න ලැබුණේ නැත්තේ ඇයි?
”විශේෂ හේතුවක් නැහැ. ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නත් බැහැනේ. පසුගිය කාලේ ටෙලිනාට්‍යයක් වගේම ඒ අතරතුර වැඩ කිහිපයක්ම කළා. ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී ඒ නිර්මාණ දකින්න ලැබෙයි. වර්තමානයේ කැප වෙලා කරන්න තරම් චරිත නිර්මාණ බිහිවෙන්නේ හරිම අඩුවෙන්. ඒවායෙන් දක්ෂතා පෙන්වපු නිසා තමයි අද අපි මේ තැන්වල ඉන්නේ.”
ඔබ කියපු විදිහට කැපවීමෙන් මහන්සි වෙලා කරන්න අර්ථවත් චරිත දැන් නිර්මාණ තුළින් බිහි වෙන්නෙම නැද්ද?
”එහෙම චරිත බිහි වෙනවා හරිම අඩුයි. මෑතකදී මම කරපු සියලූම චරිතවලට වඩා අමාරුම චරිතය තමයි මම එක්තරා ටෙලිනාට්‍යයක මම කළේ. ඇවිදින විදිහ, කතා කරන විදිහ අවුරුදු එකහමාරක් එක විදිහට තියාගෙන යනවා කියන එක අමාරු වැඩක්. ඒක රංගන ශිල්පිනියක් විදිහට මට ලැබුණු ලොකු අභියෝගයක්.”
නවකයන් නිසා ප්‍රවීණයන්ට වැඩ අඩුයි කියන්නේ ඇත්ත ද?
”ඒක ස්වාභාවික දෙයක්. දැන් මේ ක්ෂේත්‍රයේ තරගකාරීත්වය වැඩියි. ක්ෂේත්‍රයට කොයිතරම් නවකයන් ආවත් ක්ෂේත්‍රයේ පැවැත්ම තියෙන්නේ දක්ෂ පරපුරක් බිහි වුණොත් විතරයි.”
සිනමාවට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන් ද?
”අලූතින් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ‘හිතුමතේ ජීවිතේ’ කියන නංගි වෙනුවෙන් නංගිව දුෂණය කරලා මරපු සියලූම දෙනා මරලා හිරේ ගිය අයියා කෙනකුගේ සත්‍ය කතාව. ඔහුගේ ජීවිත කතාව නුදුරු දිනකදී චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්.”
දමිතාගේ ජීවිතේ අහන්න තියෙන විශේෂම ප්‍රශ්නය තමයි ඊළඟ එක. දැන් ඒකට උත්තර දීලා ඇති වෙලා නැද්ද?
”මොකක් ද?”
විවාහය?
”විවාහය කල් ගියා වැඩියි. අපට ජීවිතේ හැමදේම එක විදිහට ලැබෙන්නේ නැහැනේ. මට ජීවිතේ හැමදෙයක්ම වාසනාවන්ත විදිහට ලැබුණ කෙනෙක්. ඒත් දැන් විවාහ විය යුතු වයස පහු වෙලා.”
ඇයි විවාහයට මෙච්චර බාධා?
”විවාහය මට ඕන වෙලාවට ලැබුණේ නැහැ. මම ඒ ගැන දුක්වෙන්නේ නැහැ. ජීවිතේ හොඳම වෙලාවට ඒකත් ලැබේවි කියලා හිතනවා. විවාහ උත්සවයක් ගැනීමේ බලාපොරොත්තුවක් මට නැහැ. ඒ ආසාවල් බලාපොරොත්තු දැන් ඉවරයි. චාම්ව සරලව මගේ විවාහය සිද්ධ වේවි. කොහොම වුණත් මගේ වෙඩින් ෆොටෝ එකක් නම් තියේවි.
පසුගිය කාලෙත් මම විවාහ වුණා කියලා ගොසිප්වල ගහලා තිබුණා. ගොඩක් අය මාව විවාහ කරලා දුන්නා. මට ළමයිනුත් හදලා දුන්නා. ඒත් ඇත්තටම නම් මම තාම විවාහ වෙලා නැහැ.”