මේ තරුණයාගේ පියා රටේ ප්‍රසිද්ධ කලාකරුවෙකි. එමෙන්ම රජයේ ඉහළම ආයතනයක අධ්‍යක්‍ෂවරයෙකි. ගීතයක් මෙන් ගලා ගිය ඔවුන්ගේ ජීවිතවලට කඳුළු එක්‌කාසු කරනු ලැබුවේ පවුලේ බඩපිස්‌සාය. පාසලේ හය, හත වසරේ සිට මත්ද්‍රව්‍ය සමඟ වැඩිවියට පත් වූ තම පුංචි පුතු සුමඟට ගැනීමට ඒ පියාට නොහැකි විය. දැන් ඒ කොලුගැටයා අවුරුදු විසි දෙකක තරුණයෙකි. ඇඟපත දැඩි වී මොළ ගෙඩිය වැඩුණ ද ඔහුට මත්ද්‍රව්‍යවලින් මිදෙන්නට නොහැකි විය. ඔහු දිනෙන්, දින අපායට ඇදිණි. අවසානයේ ඔහු නතර වූයේ පැල්මඩුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේය. අපි ඔහු ෆනී ලෙස හඳුන්වමු. මේ ෆනී කියන කතාවය.
''මම ජීවත් වුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගමක. ඉගෙනගත්තේ ඒ ප්‍රදේශයේම ජනප්‍රිය පාසලක. ඒත් මට සාමාන්‍ය පෙළ කඩඉම පසු කරන්න බැරි වුණා. එතකොට මම හොඳටම මත් වෙලා හිටියේ. ඒක මගේ අවාසනාව. සම්පූර්ණයෙන්ම මාව මේ වළට ඇදලා දැම්මේ යාළුවෝ. මුලදි, මුලදි යාළුවො සිගරට් කොට, ටැබ්ලට් කෑලි දික් කරනකොට මම බැනලා ප්‍රතික්‌ෂේප කළා. ඉස්‌කෝලේ කැඩෙටින් කරන්න ගත්තට පස්‌සේ තමයි, මේ ජරාව පාවිච්චි කරන්න ගත්තේ. දවසක් අපේ කැඩෙට් සෙට් එක පෙති ගන්නකොට මමත් පෙත්තක් ගත්තා. එදා මට ඒක ඔරොත්තු දුන්නේ නෑ. ඔලුව උස්‌සගෙන ඉන්නම බැරිව ගියා. ටිකක් වෙලා ඉඳලා වමනය ගියාට පස්‌සේ ටික, ටික හරි ගියා. ඒ එක්‌කම ඇඟට අමුතු ෆීලින් එකක් දැනුණා. දෙවැනි දවසෙත් ටැබ්ලට් ගත්තා. එදත් ටිකක් වමනය ගියා. ඒත් මාර ෆීලින් එකක් දැනුණා. ඊට පස්‌සේ අපි සතියට දවස් තුනක් විතර හවස ඉස්‌කෝලේ නතර වෙලා ටැබ්ලට් ගත්තා. ඒ ෆීලින් එක දිගටම තියාගන්න ඕන නිසා සිගරට් බිව්වා. ඒ විදිහට මාසයක්, දෙකක් යනකොට ඉබේම මම ටැබ්ලට්‌වලට ඇඩික් වුණා. පස්‌සේ මම ටැබ්ලට් කාඩ් පිටින් අරගෙන බිව්වා. ඉස්‌කෝලෙට ගිය වේලාවේ ඉඳලා මත් වෙලා...''
''මට ඕන විදිහට වියදම් කරන්න ගෙදරින් සල්ලිත් දුන්නා. මගේ ළඟ සල්ලි තියෙන නිසා යාළුවොත් සෙට් වුණා. මම වැඩියෙන්ම ඇසුරු කළේ ලොකු පන්තිවල ළමයින්ව. 11 වසර පන්තියේ ඉගෙනගන්න අතරතුර දවසක් කෙල්ලෙකුගේ මාර්ගයෙන් සීදූවේ නයිට් ක්‌ලබ් එකකට ගියා. ඒ කෙල්ලත් අමුතුම විදිහට සෙට් වුණේ. දවසක් මම මිනුවන්ගොඩ සැලුන් එකකට ගිහින් ඉන්නකොට ලස්‌සන කෙල්ලෙක් ආවා. මට වඩා වයස පාටයි. ඒත් හරිම ලස්‌සනයි. හුරුබුහුටියි. මට ආශ හිතුණා. මම කෙළින්ම කතා කරලා ෆෝන් නම්බරය ඉල්ල ගත්තා. දවස් දෙක, තුනක් කතා කරනකොට අපි දෙන්නා අතර ලොකු සම්බන්ධතාවක් ඇති වුණා. එයා වැඩ කරන්නේ නයිට් ක්‌ලබ් එකක, නතර වෙලා ඉන්නෙ බෝඩිමක, සේරම විස්‌තර මට කිව්වා. මුලින්ම මම ගියේ ඒ කෙල්ල වැඩ කරන නයිට් ක්‌ලබ් එකට. එදා ඒ කෙල්ලත් එක්‌ක හොඳටම බීලා, පෙති අරගෙන ඩාන්ස් කරලා උපරිම ෆන් එකක් ගත්තා. ඊට පහුවෙනිදා පාන්දර හතරට විතර තමයි එළියට ආවේ. ඊට පස්‌සේ සතියට දවස් තුන, හතර මම නයිට් ක්‌ලබ් ගියා. ඒ කෙල්ලගේ යාළුවොත් මට හඳුන්වලා දුන්නා. ඒ අය අතර ඊටත් වඩා ලස්‌සන කෙල්ලෝ හිටියා. ඒ අයත් එක්‌කත් බීලා ඩාන්ස් කරලා උපරිම ආතල් ගත්තා. ඩාන්ස් කරන්න, සින්දු කියන්න මම හරිම කැමැතියි. මට අවශ්‍ය හැම ආතල් එකක්‌ම නයිට් ක්‌ලබ් එක ඇතුළේ තිබුණා. ටික දවසක් යනකොට මම නයිට් ලයිෆ් එකට ඇඩික් වුණා...''
''ඒ නයිට් ක්‌ලබ් එකේ වැඩ කරපු කෙල්ලොත් මට පුදුම ආශාවක් තිබුණේ. මම හුරුබුහුටි, පොඩි කොල්ලා නිසා ඒ අය මාත් එක්‌ක ආශාවෙන් හිටියා. ගෙදරින් සල්ලි අරගෙන ගිහින් මමත් අත දිගහැරලා වියදම් කළා. ඒ නයිට් ක්‌ලබ් එකේ වැඩ කරපු ලස්‌සන, හුරුබුහුටි කෙල්ලෝ සේරම එළියේදී මීට් කරගෙන ෆන් ගත්තා. ලංකාව වටේම නයිට් ක්‌ලබ්වලට ගියා. කට ළඟට අරක්‌කු බීලා ක්‌ලබ් එකේ තියෙන සේරම ෆීලින් පෙති අරගෙන ගෑනු කරේ තියාගෙන ඩාන්ස් කළා. ඒ විදිහේ සල්ලාල ජීවිතයක් ගත කරන අතරේ තමයි සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වුණේ. මට විභාගයට ලියන්න තිබුණේ නයිට් ක්‌ලබ් කෙල්ලෝ එක්‌ක ගෙවූ ජීවිතය සහ මත්ද්‍රව්‍ය ෆීලින් එක විතරයි. පොත, පත දැනුමෙන් මම මොට වෙලා හිටියේ. දවල් විභාගය ලියලා රෑට මම නයිට් ක්‌ලබ් ගියා. සාමාන්‍ය පෙළ විභාගය ෙෆ්ල් වුණා කියලා ඒක මට ලොකුවට දැනුණේ නෑ. අම්මා, තාත්තා ඒක ලොකුවට ගත්තෙත් නෑ. විභාගය ඉවර වුණාට පස්‌සේ මගේ ජීවිතයම ෆන් එකක් වුණා. හවසට ගෙදරින් යනවා පහුවදා උදේ පාන්දර පහට විතර ගෙදර එනවා. හරියට බෝඩිංකාරයෙක් වගෙයි. මම මොනවද කරන්නේ කියලා ගෙදරින් හෙව්වෙත් නෑ. තාත්තා උදේට ඔෆීස් යනවා. අයියා එයාගේ බිස්‌නස්‌වලට ගියා. අම්මා ගෙදර වැඩ කරගෙන එයාගේ ලෝකයේ තනි වුණා. ඒත් තොල් කළුවෙලා, හකු බැහැලා ඇඟ වැහැරිලා යනකොට තාත්තා මාව සැකකරන්න ගත්තා...''
පුතා ඔයා ගොඩක් වෙනස් වෙලා. මොනවා හරි පාවිච්චි කරනවද... නැවත ඔයා විභාගය කරන්නෙත් නෑනේ. මොකක්‌ද ඔයාගේ ප්ලෑන් එක...'' දවසක් උදේක තාත්තා මගෙන් ප්‍රශ්න කළා.
''ඔව් තාත්තා. මම මියුසික් වීඩියෝ එකක් කරන්න පටන් අරගෙන තියෙන්නේ. තව ටික කාලයකින් එළියට දාන්න පුළුවන්...' 'මම තාත්තාට බොරු කිව්වා.
''ජොබ් එක කරන අතරේ අපේ තාත්තා ටෙලි නාට්‍යය කරනවා. ඊට පස්‌සේ තාත්තා මාව එයාගේ වැඩවලට උදව් කරගත්තා. ඒත් මට නිශාචර ජීවිතයෙන් මිදෙන්න බැරි වුණා. මගේ වෙනස තාත්තා තේරුම් ගත්තා. ඊට පස්‌සේ තාත්තා ඩුබායි ඉන්න හිතවත් අක්‌කා කෙනෙකුට කතා කරලා මාව ඩුබායිවල හොටෙල් එකක ජොබ් එකකට යෑව්වා. මට ලොකු ඉංග්‍රිසී දැනුමක් නැති වුණාට ඒ හෝටලයේ වැඩ ටික කරගෙන යන්න කඩ්ඩ ප්‍රමාණවත් වුණා. මාස හත, අටක් හොඳට වැඩ කළා. හොඳ පඩියකුත් ගත්තා. එහෙම වැඩ කරගෙන යනකොට ඒ හෝටලයේම වැඩ කරපු පිලිපීන් කෙල්ලෙක් මට සෙට් වුණා. මටත් වඩා බාලයි. හරිම ලස්‌සන කෙල්ල. ඒ කෙල්ල සෙක්‌ස්‌වලට පුදුම කෑදරකමක් තිබුණේ. දවසක් නයිට් එකේ වැඩ කර කර ඉන්න අතරතුර කකුල තුවාල වුණා, බැන්ඩේඡ් එකක් දාගන්න ඕනා, ස්‌ටෝර්ස් රූම් එකට එන්න කියලා එකී මට කතා කළා...
මොකට කතා කරනවද දන්නේ නෑ... කියලා හිත, හිත මමත් ගියා. මම යනකොට හැට්‌ටේ උඩ බොත්තමත් ගලවගෙන පුටුවක වාඩි වෙලා කකුල අතගානවා. මම බැන්ඩේඡ් එක අරගෙන කකුල වෙලන්න යනකොට එකී මාව බදාගෙන කිස් කරන්න පටන් ගත්තා. මගෙත් රතු කට්‌ට පැන්නා. දන්නේම නෑ අපි කරපු හැම දේම කැමරා වෙලා. පස්‌සේ හොටෙල් එකට චෙක් වුණා. එදාම මාව ජොබ් එකෙන් අයින් කළා. ඒ විතරක් නෙවෙයි නැවත මට ඩුබායිවල ජොබ් එකකට යන්න බැරි විදිහට සොරිම කරලා තමයි ලංකාවට පිටුවහල් කළේ. වෙච්ච දේ ගෙදර අයට කියන්න බැරි නිසා ජොබ් එක අමාරුයි කියලා බොරු කිව්වා. ඩුබායි ඉඳලා ආවට පස්‌සේ මම ගෙදර අයට පේන්නම සිගරට් බිව්වා. ඩි්‍රන්ක්‌ස් ගත්තා. නයිට් ලයිෆ් එක හොඳටම එන්ජෝයි කළා. තාත්තා සුපිරි ජොබ් ගාණකට දාන්න හැදුවා. ඒත් පැය අටේ ජොබ්වලට මම කැමැති වුණේ නෑ. ඔහොම ඉන්න අතරේ කුවේට් ජොබ් එකක් කරන මගේ යාළුවෙක් කතා කරලා මට එහේට එන්න කිව්වා. මම අපේ ගෙදර අයට කිව්වහම අම්මත්, තාත්තත් කැමැති වුණා. ඊට පස්‌සේ මම කුවෙට්‌වලට ගියා. මාස දෙකක් විතර හිටියා, ජොබ් එකක් සෙට් වුණේ නෑ. ඒ යාළුවාගේ ගෙදරත් පුංචියි. එයාගේ පවුලේ අයට ජීවත් වෙන්නත් ඉඩ මදි. මට ජොබ් එකක් සෙට් වුණෙත් නැති නිසා මම ලංකාවට ආවා...''
''එහේ ඉන්න බැරි නිසානේ ඇවිත් තියෙන්නේ. මෙහේ මොනවා හරි කරන්න උදව් කරමු...එහෙම කියලා අයියා තාත්තගේ හිත හැදුවා. ඊට පස්‌සේ මම අයියාගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන මියුසික් වීඩියෝ එකක් කරන්න සූදානම් වුණා. ඒක පටන් ගන්න ඉස්‌සෙල්ලා ඒ සම්බන්ධයෙන් තව ටිකක් ඉගෙනගන්න ඕනා කියලා හිතාගෙන තාත්තාගේ හිතවත් ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් ළඟට ගියා. එතැනට වයිවාරණ කෙල්ලො, කොල්ලෝ ආවා. ජනප්‍රිය නළු නිළියෝ ඇසුරු කරන්න ලැබුණා. නළු, නිළියන්ගේ තියෙන්නෙත් අමුතුම ලයිෆ් එකක්. ෂූටින් ඉවර වෙලා රෑට කට්‌ටියත් එක්‌ක සෙට් වුණහම සෙක්‌ස් ලයිෆ් එකත් කතා කරනවා. හරියට එන්ජෝයි වුණේ නැති නම් පිරිමියා ඉවරයි. අපි එකට හිටියත් මූණටම කියනවා. ඒ නිසා නිළියොත් එක්‌ක ගනුදෙනු කරනකොට මම හොඳටම පරිස්‌සම් වුණා. ඒත් මියුසික් වීඩියෝවල රඟපාන ලස්‌සන අක්‌කා කෙනෙක් මට ගොඩක් ළං වුණා. ටික දවසක් යනකොට දෙන්නට, දෙන්නා නැතිවම බැරි වුණා. මම ගෙදර ගියේම නෑ. අපි දෙන්නා එක කාමරයක් අරගෙන අඹු සැමියන් විදිහට ජීවත් වුණා. ඒ අක්‌කා බැඳලා ඩිවොස් වෙච්ච කෙනෙක්. හොඳට සල්ලි තිබුණා. ඒ වගේම මියුසික් වීඩියෝවල රඟපාල හම්බ කළා. සුපිරියටම මත්ද්‍රව්‍යයත් ගන්නවා. ගංජා, ඇල්කොහොල් දෙකම අරගෙන පෙත්තකුත් ගන්නවා. ඊට පස්‌සේ පිස්‌සියෙක් වගේ තමයි. මාස හයක් විතර අපි දෙන්නා එකට ජීවත් වුණා. නයිට් කල්බ් ගියා. ටි්‍රප් ගිහින් දවස් තුන, හතර හිටියා. කොහේ ගියත් අපි දෙන්නා විතරයි. ඒ අක්‌කා මට පුදුම විදිහට ආදරය කළා. සියලු වියදම් එයාගෙන්. ඒත් මට එයාව එපා වුණා...''
''ගැලවෙන්න බැරිම තැන මම මාලදිවයිනට ගියා. ඒ ගිහින් හිටියේ ඥාතී ඇන්ටි කෙනෙක් ළඟ. ඒ ඇන්ටි රෙස්‌ටුරන්ට් එකක් කළා. කෑම, බීම ටික නම් වෙලාවට ලැබුණා. ගෙදරින් දීපු සල්ලි සේරම වියදම් කළේ ඇල්කොහොල්වලටයි, ගෑනු එක්‌ක ඉන්නයි. ඒ ඇන්ටිට කියලා මගේ යාළුවො දෙන්නෙකුත් මාලදිවයිනට ගෙන්වා ගත්තා. ඒ දෙන්නගෙන් මම ලක්‍ෂ දෙකක් ගත්තා. මම ජොබ් එකක් කළේ නෑ. යාළුවෝ දෙන්නට ජොබ් දෙකක් හොයලා දුන්නා. ආතල් එකේ ඉන්නකොට මට මාලදිවයින කෙල්ලෙක් සෙට් වුණා. ඉටි රූපයක් වගෙයි. ඒත් කුඩුවලට තදින්ම ඇබ්බැහි වෙලා. මත් එක්‌ක හිටිය හැම දවසකම ඒ කෙල්ල කුඩු ගත්තා. මටත් බොන්න කියලා වද කළා. ඒත් මම ගත්තේ නෑ. කුඩු බොන්න මම බය වුණා. තව ටික කාලයක් මෙහේ හිටියොත් කුඩුත් බීලා තමයි නතර වෙන්නේ මම ලංකාවට යනවා... කියලා හිතාගෙන ඇන්ටිට කියලා ටිකට් එකක් හදාගෙන ලංකාවට ආවා...''
''ඒ වතාවේ නම් තාත්තා හොඳටම බැන්නා. අයියා කතා කළෙත් නෑ. කඩේකින් බීම බෝතලයක් ගන්නවත් ගෙදරින් සල්ලි දුන්නේ නෑ. ඊට පස්‌සේ මම ගෙදර සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා. තාත්තාගේ ලාච්චුව ඇරගෙන සල්ලි මිටිවලින් ටික, ටික ගත්තා. ඒ සල්ලිත් මදි වෙනකොට මගේ කනෙක්‌ෂන් හරහා කෙල්ලන්ව ඩීල් කරන්න පටන් ගත්තා. අන්තිමේ මම රෙස්‌ටුරන්ට් එකක් බදු අරගෙන ගණිකා මධ්‍යස්‌ථානයක් වගේ කරගෙන ගියා. කෙල්ලෝ හත්අට දෙනෙක් මාත් එක්‌ක වැඩ කළා. ඒ කෙල්ලොත් දවල්ට රෙස්‌ටුරන්ට් එකේ වැඩ. රෑට නයිට් කල්බ් යනවා. ටෙලිනාට්‍ය ෆීල්ඩ් එකේ හිටිය නිසා ගොඩක් නිළියෝ මාත් එක්‌ක හිතවත්. ඒ අයවත් මම ඩීල් කළා. මගේ අතේ හොඳට සල්ලි ගැවසුණා. සුද්දා වගේ වියදම් කළා. ගෙදර ගියේම නෑ. මත්ද්‍රව්‍යවලට, නයිට් ලයිෆ් එකට ඇඩික් වුණාට පස්‌සේ ගෙදර අයත් එක්‌ක කතා බහ කරමින් කෑම ටිකක් කෑවේ කලාතුරකින් දවසක්. මම ගෙදර ඉන්න වේලාවට අම්මා විහිළු තහළු කරලා මගේ හිතේ තියෙන දේවල් ගන්න ගොඩක් උත්සාහ කළා. ඒත් මම දුන්නේ නෑ...''
''දවසක් තාත්තා මට කතා කරලා ටෙලිනාට්‍යයක් කරන්න යනවා. මොකද කියන්නේ ඔයත් එනවද... කියලා ඇහුවා. ටෙලිනාට්‍ය පිස්‌සුව මට හොඳටම තියෙන නිසා මම ඒකට කැමැති වුණා. රත්නපුරේ පැත්තේ ලස්‌සන තැන් තියෙනවා ටිකක් බලලා එමු කියලා මාවත් දාගෙන ආවා. රත්නපුරේ හෝටලයක වාහනය නතර කරලා දෙන්නා එක්‌ක හොඳට කෑවා. ඒ කාලා ඇවිත් කෙළින්ම නතර කළේ මේ පන්සලේ. මෙතැන ලස්‌සන තැන. වටේට කඳු. මම හිතුවේ ටෙලිනාට්‍ය රූගත කරන්න තෝරාගත්ත තැනක් කියලා. ටික වේලාවක් යනකොට අයියලා දෙන්නෙක් ඇවිත් මට ඇතුළට කතා කළා. මම ගියා තාත්තා වාහනය ස්‌ටාර්ට් කරගෙන යන්න ගියා...''
අදට මාස එකොළහ මාරයි. ඒ ගියාට පස්‌සේ තාත්තා මාව බලන්න ආවේ එක වතාවයි. අම්මයි, අයියයි ආවේම නෑ. තාත්තා මේ තැන හොයාගෙන තියෙන්නේ මගේ වාසනාවට. දැන් මට මත්ද්‍රව්‍ය මතක් වෙනකොට අප්පිරියයි. ගත කරපු තිරිසන් ජීවිතය සම්පූර්ණයෙන්ම අමතකයි. උදේ හවස, බුදුන් වැඳලා මේ ගත කරන ජීවිතය හරිම සැහැල්ලුයි. නැවත මම ඒ අපායට වැටෙන්නේ නෑ. මම මෙතැනින් පිට වෙන්නේ නැවත ජීවිත කාලයටම මත්ද්‍රව්‍ය ගන්නේ නෑ කියන අධිෂ්ඨානයෙන්. දැන් මගේ අයියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. අයියා මාව බිස්‌නස්‌වලට හවුල් කරගනී කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම නැති වුණොත් මම ඉගෙනගෙන තියෙන කැමරාකරණය, පින්තූර, වීඩියෝ සංස්‌කරණය තව ටිකක් ඉගෙනගෙන ඒ ක්‍ෂේත්‍රයෙන් ව්‍යාපාර පැත්තට යොමු වෙනවා. මට මාව විශ්වාසයි. ජීවිතය දිනනවා...''
තරංග රත්නවීර