ලංකා රජය විසින් විදේශ ණය වාරිකයක් විදිහට ගෙවන්න ගිය අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක දැවැන්ත මුදලක් හොර රහසේම වෙනත් තුන්වන පාර්ශවයක අතට පත්වෙලා... සරලවම කිව්වොත් මේක සයිබර් අපරාධයක් සහ මහා පරිමාණ වංචාවක් බව මුදල් කාරක සභාව දැන් නිල වශයෙන්ම නිගමනය කරලා ඉවරයි.
රටේම සල්ලි තියෙන මහා භාණ්ඩාගාරයේ නිල ඊමේල් පද්ධතිය (Email System) 2019 වසරේ ඉඳන් කිසිම අප්ඩේට් එකක් නැතුව, යල් පැන ගිය එකක් විදිහටයි පවත්වාගෙන ගිහින් තියෙන්නේ. මෙන්න මේ දුර්වලතාවයෙන් රිංගපු සයිබර් හොරු කණ්ඩායමක් ඩොලර් මිලියන 2.5 ක් වෙනත් ගිණුමකට හරවාගෙන තියෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු නිලධාරීන් අතර උණුසුම් සාකච්ඡාවක් ඇතිවුණා.
ඉන් අනතුරුව කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මේ මුළු සයිබර් මංකොල්ලය සහ ඊට අදාළ විමර්ශන ඇතුළත් විශේෂ වාර්තාවක් පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එම වාර්තාවෙන් රටේ මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු තීරණාත්මක නිගමන සහ නිර්දේශ රැසක්ම ඉදිරිපත් කරලා තියෙන බවයි වාර්තා වෙන්නේ.