ලෝක ටෙනිස් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක ලෙස සැලකෙන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් (Serena Williams), වසර හතරකට ආසන්න කාලයකට පසු නැවතත් වෘත්තීය ටෙනිස් පිටියට පිවිසීම විශේෂ වූවක්..
ලන්ඩන් නුවර ක්වීන්ස් ක්ලබ් හි පැවැත්වෙන HSBC ටෙනිස් ශූරතාවලියේ (WTA 500) කාන්තා යුගල තරගාවලිය සඳහා වයිල්ඩ් කාඩ් අවස්ථාවක් ලබාගනිමින් 44 හැවිරිදි සෙරීනා මෙලෙස පිටියට පිවිසි අතර, එහිදී ඇය සිය සහකාරිය ලෙස තෝරාගෙන තිබුණේ 19 හැවිරිදි කැනේඩියානු යොවුන් ක්‍රීඩිකා වික්ටෝරියා ම්බොකෝ (Victoria Mboko)යි.
මුළු ලෝකයේම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත් මෙම පළමු වටයේ තරගයේදී සෙරීනා සහ ම්බොකෝ එක්ව තරගාවලියේ තෙවැනි ස්ථානයට ශ්‍රේණිගත කර සිටි ප්‍රබල අමෙරිකානු-නවසීලන්ත යුගලය වන නිකොල් මෙලිචර්-මාර්ටිනස් සහ අර්න් රුට්ලිෆ් වට 7-6(2)ක් සහ 6-2ක් ලෙස පරාජය කරමින් අතිවිශිෂ්ට ජයක් වාර්තා කළා.
2022 වසරේ යූ.එස්. විවෘත (US Open) තරගාවලියෙන් පසු ඇය ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබූ බැවින්, ඇය නැවතත් මෙලෙස ටෙනිස් පිත්ත අතට ගනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත. ඈන්ඩි මරේ ක්‍රීඩාංගණයේ පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකාගාරයක් මධ්‍යයේ පැවැති මෙම තරගයේදී, සෙරීනා සිය සුපුරුදු ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය සහ පැයට සැතපුම් 120ක වේගයෙන් යුත් දරුණු සර්විස් ප්‍රහාර එල්ල කරමින් තවමත් තමන් සතු දක්ෂතාවය ලොවට ප්‍රදර්ශනය කළා.
තරගයෙන් අනතුරුව සිනාමුසු මුහුණින් අදහස් දැක්වූ ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 23ක හිමිකාරිනිය වන සෙරීනා කියා සිටියේ, නිවසේ රැඳී සිටීමෙන් වෙහෙසට පත්ව සිටි බැවින් සහ සිය දරුවන්ට තමන් ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවත්, වික්ටෝරියා සමඟ ක්‍රීඩා කිරීම ඉතාමත් විනෝදජනක වූ බවත්.
ඉදිරියේදී ඇය බර්ලින්හි පැවැත්වෙන යුගල තරග සඳහා ද එක්වීමට නියමිත අතර, එළඹෙන විම්බල්ඩන් (Wimbledon) තරගාවලිය සඳහා ද ඇයට වයිල්ඩ් කාඩ් අවස්ථාවක් හිමිවනු ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළ කරන්නේ.