ජපාන අග්‍රාමාත්‍ය සානාඒ තකාඉචි (Sanae Takaichi) තමන් දිනකට නිදාගන්නේ පැය 03කට වඩා අඩු කාලයක් පමණක් බවට කළ ප්‍රකාශයක් සමගින් ජපානය පුරා සේවකයින්ගේ අධික වැඩ ප්‍රමාණය සහ සේවා-ජීවිත සමබරතාව (Work-life balance) පිළිබඳ දැඩි සමාජීය හා දේශපාලනික කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය සිය නිල 'X' ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ධුරයට පත්වූ තැන් සිට තමන්ට දිනකට ලැබෙන්නේ පැය 3කටත් අඩු නින්දක් බවයි.
පසුගිය ජූලි 20 වැනිදා පැවැති ජපානයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන 'සාගර දිනය' (Marine Day) වෙනුවෙන් තමන්ට පැය 5ක නින්දක් ලබාගැනීමට හැකි වූ බවත්, එය ඉතා දුර්ලභ වාසනාවක් වූ බවත්, ඇය සඳහන් කර තිබෙනවා.
අලුයම වන තෙක් රජයේ වැදගත් ප්‍රතිපත්තිමය ලේඛන සහ විද්‍යුත් තැපෑල (Emails) පරිශීලනය කරන බව පවසන අගමැතිනිය, රාජකාරි අතරතුර ලැබෙන කෙටි විවේක කාලයන්හිදී රෙදි සේදීම, මදින ලද ඇඳුම් සකස් කිරීම, ඇඳුම්වල බොත්තම් ඇල්ලීම, නාන කාමර පිරිසිදු කිරීම සහ ආබාධිත තත්ත්වයේ පසුවන සිය සැමියාගේ කටයුතු සොයා බැලීම වැනි නිවසේ දෛනික වැඩකටයුතු ද තමන් විසින්ම සිදු කරන බවයි හෙළි කර ඇත්තේ.
අග්‍රාමාත්‍යවරියගේ මෙම සටහන මිලියන 35කට අධික පිරිසක් නරඹා ඇති අතර, එමගින් ජපාන සමාජය තුළ විශාල සංවාදයක් ගොඩනැගී තිබෙනවා.
සමහරු ඇයගේ කැපවීම සහ මහන්සිය අගය කළද, විපක්ෂයේ දේශපාලනඥයින් පෙන්වා දෙන්නේ මෙලෙස අතිශය අඩු නින්දක් ලැබීම රටක් පාලනය කරන නායකයෙකුගේ තීරණ ගැනීමේ හැකියාවට සහ මානසික ඒකාග්‍රතාවයට දැඩි ලෙස බලපාන බවයි.
තවද, අධික ලෙස වැඩ කිරීම නිසා සිදුවන මරණ පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති ජපානය වැනි රටක, රටේ අග්‍රාමාත්‍යවරියම මෙවැනි සෞඛ්‍යයට අහිතකර දීර්ඝ සේවා රටාවක් ප්‍රදර්ශනය කිරීම තුළින් සමාජයට වැරදි ආදර්ශයක් සැපයෙන බවට ද විවේචන එල්ල වී තිබෙනවා.