මුළු ඉන්දියාවම දෑස් අයා බලා සිටි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැන් නිකුත් වී තිබෙනවා. ඒ අනුව, වසර ගණනාවක් තමිල්නාඩුව පාලනය කළ දැවැන්තයන් පරදා විජේගේ TVK (තමිළග වෙට්ට්‍රි කලගම්) පක්ෂය ප්‍රමුඛ සන්ධානය බහුතර බලය තහවුරු කරගෙන තිබෙන්නේ ලෝකයම මවිත කරමින්.
තමිල්නාඩුවේ රජයක් පිහිටුවීමට අවශ්‍ය මැජික් අංකය වූයේ ආසන 118 කි. මුලදී තනිව සටන් කළ විජේට සහයෝගය පළ කරමින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (CPI) සහ CPM යන පක්ෂ දෙක එක් වීමත් සමඟ ජයග්‍රහණය තහවුරු වුණා. මීට අමතරව ඉන්දීය කොංග්‍රසය සහ VCK පක්ෂයත් විජේ සමඟ අත්වැල් බැඳගැනීම විශේෂත්වයක්.
වත්මන් මහ ඇමති එම්.කේ. ස්ටාලින් ප්‍රමුඛ DMK පක්ෂයට සහ AIADMK පක්ෂයට මෙවර උරුම වූයේ අන්ත පරාජයක්. දශක ගණනාවක ද්විපාර්ශවික දේශපාලන පොරය අවසන් කරමින් විජේ විසින් තමිල්නාඩුවේ "තුන්වන විකල්පය" සැබෑවක් කර තිබෙනවා.
"මේක මගේ විතරක් නෙවෙයි, තමිල්නාඩුවේ වෙනසක් පැතූ තරුණ පරපුරේ ජයග්‍රහණයක්!" - තලපති විජේ සිය රසිකයන් අමතමින් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ චෙන්නායි ඇතුළු ප්‍රධාන නගරවල රසිකයන් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින්, විජේගේ දැවැන්ත කටවුට් වලට කිරි අභිෂේක කරමින් ජය සැමරුම් ආරම්භ කර තිබෙනවා. බොහෝ දෙනෙක් පවසන්නේ මෙය රිදී තිරයේ නළුවෙකු සැබෑ ජීවිතයේ මහ ඇමති පුටුව දක්වා ගිය "සොඳුරුතම විප්ලවය" බවයි.
දැන් තමිල්නාඩුවේ ඊළඟ මහ ඇමති කිරුළ තලපති විජේගේ හිස මත රැඳෙනු ඇතැයි නිල වශයෙන් වාර්තා වනවා. සිනමාවෙන් සමුගෙන දේශපාලනයට ආ විජේගේ මේ අලුත් ගමන තමිල්නාඩුවට මොන වගේ වාසනාවක් ගෙන එයිද? අපි බලාගෙන ඉමු!