හැබැයි අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගුරුවල වැඩිහිටි සමිතිය සංවිධානය කරපු බක්මහා උලෙල නම් හරිම සුවිශේෂී එකක් වුණා. සම්ප්‍රදායට ගරු කරන, ගුණධර්මවලින් පිරුණු මේ අපූරු අවුරුදු උත්සවයේ අපි දැකපු විශේෂම දේවල් කිහිපයක් ම තිබුණා...
සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයක කිරි ඉතිරවීම කරන්නේ චාරිත්‍රයක් විදියට විතරයි. හැබැයි මේ උත්සවයේදී කිරි ඉතිරවීමේ චාරිත්‍රය කණ්ඩායම් තරගයක් විදියට පවත්වලා තිබුණා. ගමේ හැමෝම එකතු වෙලා බොහොම උනන්දුවෙන් මේ තරගයට සහභාගී වුණේ හරිම උද්යෝගයෙන්....
මෙතැනදී අපි දැකපු ලස්සනම දේ තමයි වැඩිහිටියන් අතර තිබුණු ඒ සුන්දර බැඳීම. වැඩිහිටි සමිතියේ ඉන්න වයසින් අඩු සාමාජිකයෝ, තමන්ට වඩා වයසින් වැඩි වැඩිහිටියන්ට බුලත් දීලා, මව්පියන්ට වඳින ගාථා කියලා ආචාර කළා. ඒ විතරක් නෙවෙයි, ගුරුවල ගමේ දුවා දරුවනුත් තමන්ගේ ගමේ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙකුටම බුලත් දීලා ගාථා කියලා වැඳලා ආශිර්වාද ලබාගත්තා.
මේ උත්සවය ආරම්භ කළේ පවා හරිම ලස්සන විදියට. පැමිණි ආරාධිත අමුත්තන් වගේම විනිශ්චය මණ්ඩලයේ හිටපු හැමෝමත් මුලින්ම කළේ වැඩිහිටි සමිතියේ ඉන්න අම්මලා තාත්තලාට බුලත් දීලා වඳින එකයි. මේ වගේ ගුණධර්ම පිරුණු අවුරුදු උත්සව අද කාලේ හරිම දුර්ලභයි.
අපේ සංස්කෘතියයි, වැඩිහිටියන්ට ගරු කිරීමයි එකට එකතු කරපු මේ වගේ වැඩසටහන් මුළු රටටම ලොකු ආදර්ශයක්.