නමුත් හබරාදුව කොක්වත්ත ප්‍රදේශයේදී අකුණු මාරයා නිවසට කඩා වැදුණේ, ගොඩනැගිල්ලම සුන්බුන් කරමින් 26 හැවිරිදි තරුණියකගේ හෙට දවසත් උදුරා ගනිමිනි.
පවුලක බලාපොරොත්තු දල්වන්නට වෙහෙසුණු ඉමාෂා මධුභාෂණී දියණියගේ අකල් වියෝව මුලින් වාර්තා වූයේ සෘජු අකුණු සැර වැදීමකින් සිදු වූ මරණයක් ලෙස වුවත්, පරීක්ෂණ වලදී හෙළි වූ කරුණු මුළු මහත් ප්‍රදේශයම තිගැස්මට පත් කර තිබේ.
පසුව තහවුරු වී ඇත්තේ අකුණු සැර ඉමාෂාගේ සිරුරට සෘජුවම ස්පර්ශ වී නොමැති බවයි. නමුත් අකුණු පහරේ ප්‍රබලත්වය නිසා ඇය රැඳී සිටි නවාතැන්පොළේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වී ඇති අතර, එම අවස්ථාවේදී කඩා වැටුණු කොන්ක්‍රීට් හෝ ගඩොල් සුන්බුන් ඇගේ හිස මත පතිත වී තිබේ. එම බරපතල තුවාල ඇගේ මරණයට සෘජු හේතුව වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා, සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දියණියයි. ඇය අනතුර සිදු වූ දිනට පෙර දින රාත්‍රියේ තම නිවස බලා යාමට සූදානමින් සිටියද, අයහපත් කාලගුණය හේතුවෙන් එම ගමන නතර කර තිබිණි. තවත් හෝරා කිහිපයකින් පියමං කිරීමට සිටි තම මහගෙදර වෙනුවට, ඇයට අවසානයේ යන්නට සිදු වූයේ මෘත ශරීරාගාරය වෙත වීම අතිශය කම්පන සහගතය.
ආරක්ෂිත යැයි සිතා රැඳී සිටි බිත්ති හතරම තමන්ට මරුමුවක් වනු ඇතැයි ඇය මොහොතකටවත් නොසිතන්නට ඇත. අහසින් වැටුණු අකුණ නිවස සුන්බුන් කරද්දී, එම සුන්බුන් මැද වැළලී ගියේ දුප්පත් පවුලක හෙට දවස ආලෝකවත් කරන්නට වෙහෙසුණු තරුණියකගේ සියලු බලාපොරොත්තුයි.