මේ සංවේදී කතාවේ අවාසනාවන්ත හිමිකාරිය වන්නේ මහආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. සදිලි නිපුණිකා (14) නැමති සිසුවියයි.
සිද්ධිය වූ දින උදෑසන ඇය සිය සහෝදරයා සමඟ යතුරුපැදියෙන් වෙහෙරයාය ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසල වෙත යමින් සිට තිබෙනවා. නමුත් එම ගමන ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කරනු ඇතැයි කවුරුත් සිතුවේ නැහැ. වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ඔවුන් ගමන් ගත් යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී ඇත්තේ මුළු ප්‍රදේශයම කම්පනයට පත් කරමින්.
අනතුරින් බරපතල තුවාල ලැබූ සහෝදරයා සහ සදිලි දියණිය වහාම හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණත්, රෝහලට ඇතුළත් කරන විටත් සදිලි දියණිය මෙලොව හැර ගොස් අවසානයි. ඇගේ සහෝදරයා මේ වන විටත් බරපතල තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කුඩාඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.
පාසල් නිල ඇඳුම වෙනුවට සුදු දහම් පාසල් ඇඳුමින් සැරසී අවසන් ගමන් ගිය මේ පුංචි දියණියගේ වියෝව මුළු මහආරගමම කඳුළින් තෙත් කර තිබෙනවා.