තමන්ගේ ආදරණීය සැමියා වෙන විරාත් කෝලි දිරිමත් කරන්න පිටියට ආපු අනුෂ්කා, එදින හැසිරුණු ආකාරය වගේම ඇයගේ විලාසිතාව ගැනත් දැන් හැමෝම හොයන්න පටන් අරන්.
බැලූ බැල්මට ඉතාමත් සරල පෙනුමක් තිබුණත්, අනුෂ්කා එදා ඇඳගෙන හිටපු සුදු පැහැති බ්ලවුසය ගැන තමයි දැන් වැඩියෙන්ම කතාවෙන්නේ. ප්‍රංශයේ සුප්‍රසිද්ධ 'Sezane' සන්නාමයට අයත් මේ බ්ලවුසය නිල් පැහැති ඩෙනිම් කලිසමක් එක්ක ඇය ගළපා තිබුණේ ඉතාමත් චාම් විදිහටයි. හැබැයි මේ බ්ලවුස් එකේ විතරක් වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ඉතා ඉහළ අගයක්.
බ්ලවුස් එකටත් වඩා හැමෝම පුදුම කළේ අනුෂ්කාගේ මැණික්කටුවේ දිදුලමින් තිබුණු ඒ සුඛෝපභෝගී අත් ඔරලෝසුවයි. එය සුප්‍රසිද්ධ 'Panthère de Cartier' වර්ගයේ එකක් බවයි විලාසිතා විචාරකයින් පවසන්නේ. 18K රත්තරනින් නිමවා ඇති මෙම ඔරලෝසුවල මිල ඉන්දියාවේදී රුපියල් ලක්ෂ 28ක ඉඳන් රුපියල් ලක්ෂ 61ක් වැනි අති විශාල මුදලක් දක්වා ඉහළ යනවා.
විලාසිතා ලෝකයේ දැන් අලුත්ම රැල්ල වෙලා තියෙන "Quiet Luxury" නැත්නම් "නිහඬ සුඛෝපභෝගීත්වය" කියන සංකල්පයට අනුෂ්කා දැන් හොඳම උදාහරණයක් වෙලා. අවම වේශ නිරූපණයකින් සහ ඉතා සරල පෙනුමකින් පෙනී සිටියත්, ඇය පාවිච්චි කරන උපාංගවල වටිනාකම ඇත්තටම ඇස් උඩ යන මට්ටමේ පවතිනවා.
කෝලි පිටියේ ලකුණු අතරට එද්දී, අනුෂ්කා ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් ඇයගේ මේ වටිනා සරලකමෙන් මුළු ක්‍රීඩා පිටියම තමන් සතු කරගත්තා කිව්වොත් නිවැරදියි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්