අමාත්‍ය මණ්ඩල තීරණ සහ මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම් අනුව, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් සතිය මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වඩාත් වැදගත් කරුණ වන්නේ නිවාඩු දින සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයයි. 2026 වර්ෂයේ වෙසක් පොහොය දිනය ලෙස මැයි මස 01 වනදා දැනටමත් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබුණත්, වෙසක් සැමරුම් කටයුතු මැයි 30 වන දිනට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනය මුල් කරගනිමින් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව, මීට පෙර මැයි 02 වන දිනට ලබා දීමට සැලසුම් කර තිබූ නිවාඩුව මැයි මස 31 වන ඉරිදා දිනට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මැයි 31 වනදා ඉරිදා දිනයක් වුවද, පෙර පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ හරහා මෙවර වෙසක් සතිය සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට අදාළ ආගමික කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.