තලපති විජේගේ අතිශය ජනප්‍රියත්වයට පත් 'ජන නායගන්' (Jana Nayagan) චිත්‍රපටයට, ඉන්දීය CBFC විසින් 'A' (වැඩිහිටියන්ට පමණයි) සහතිකයක් නිකුත් කර ඇති බව සිනමා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග තහවුරු කරනවා.
එච්. විනෝද් (H. Vinoth) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය, මාස හතක දීර්ඝ නීතිමය සහ තාක්ෂණික සටනකින් පසුව මෙම වාරණ සහතිකය ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහි විජේ සමඟ පූජා හෙග්ඩේ, බොබී ඩියෝල්, මමිතා බයිජු, ගෞතම් වාසුදේව් මෙනන්, ප්‍රකාශ් රාජ් සහ නරායන් ඇතුළු ප්‍රමුඛ පෙළේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. අනිරුද් රවිචන්ද්‍රන් විසින් මෙහි සංගීතය නිර්මාණය කර ඇති අතර, සත්‍යයන් සූරියන් කැමරාකරණයෙන් දායක වී තිබුණා. තමිල්නාඩු චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයට අනුව, මෙම චිත්‍රපටය එළඹෙන ජූලි 24 වැනිදා සිට තමිල්නාඩුවේ සිනමාශාලා 1,000කට අධික සංඛ්‍යාවක තිරගත වීමට නියමිතයි.
විජේ පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය මෙය ලෙසයි සැලකෙන්නේ. බැංගලෝරයේ පිහිටි KVN Productions ආයතනය විසින් මෙය නිෂ්පාදනය කර ඇති අතර, මෙම චිත්‍රපටය මුලින්ම 2026 ජනවාරි 9 වැනිදා තෛපොංගල් උත්සවයට සමගාමීව තිරගත කිරීමට සැලසුම් කර තිබුණා.
සෙන්සර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් මෙහි අඩංගු සමහර දේශපාලන සහ පොදු ජන සංවේදී දර්ශන සමාජයට අහිතකර විය හැකි බවට විරෝධතා දැක්වීම නිසා මෙහි සහතිකය ප්‍රමාද වී තිබුණා.
මේ හේතුවෙන් නිෂ්පාදකයින් මදුරාසි මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පවා නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවූ අතර, එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී මෙම චිත්‍රපටයේ HD පිටපතක් අන්තර්ජාලයට මුදාහැරීම නිසා විශාල අර්බුදයක් ඇති වී තිබුණා.
වාරණයට ලක්වීමටත් පෙර මෙම පිටපත කෝටි 1.2කට අධික පිරිසක් නරඹා තිබූ අතර, පසුව තමිල්නාඩු පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිදහස් චිත්‍රපට සංස්කාරකවරයෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. කෙසේවෙතත්, මෙම චිත්‍රපටය තෙළිඟු සිනමාපටයක් වන 'භගවන්ත් කේසරී' (Bhagavanth Kesari) ඇසුරින් නිර්මාණය වූවක් බවට ද කටකතා පවතිනවා.