බීමත්ව නිවසට පැමිණි බෑනා කළ අශෝභන ක්‍රියාවක් නිසා මාමන්ඩියට ඉවසීම පාලනය කරගත නොහැකි වූයේ අවසානයේ බෑනාව රෝහල් ගත කරමිනුයි.
පොලිසිය පවසන පරිදි, තුවාල ලැබූ 38 හැවිරිදි බෑනා පෙදරේරුවෙකු ලෙස කටයුතු කරන අයෙක්. ඔහු බීමත්ව නිවසට පැමිණ, නිවසේ සාලයේ බිත්තියට මුත්‍රා කරමින් සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. මෙය දුටු 60 හැවිරිදි සැකකාර මාමන්ඩිය "එළියට ගොස් මුත්‍රා කරන ලෙස" පවසා බෑනාට අවවාද කර තිබෙනවා.
මාමන්ඩියගේ අවවාදයෙන් කුපිත වූ බෑනා, වහාම ක්‍රියාත්මක වී මාමන්ඩියගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර තිබෙනවා. පසුව අසල තිබූ පුටුවකින් මාමන්ඩියට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී, තමාගේ ආරක්ෂාව වෙනුවෙන් සැකකරු අසල තිබූ කැත්තකින් බෑනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
කැති පහර නිසා බෑනාගේ නළල ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී ඇති අතර, ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙනවා. ඔහුගේ තත්ත්වය තවමත් බරපතල බැවින් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට පවා ඔහු අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.
දොඩන්ගොඩ පොලිසිය විසින් 60 හැවිරිදි සැකකාර මාමන්ඩිය අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.