ඔහු නමින් නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි. මාතලේ අකුරම්බොඩ පදිංචි 29 හැවිරිදි නිරෝෂන් මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ‘A’ සාමාර්ථ 3ක් අරගෙන මුළු රටේම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
පුදුමේ කියන්නේ මෙයා කිසිම ටියුෂන් පන්තියකට ගිහින් නෑ. සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය සහ යුරෝපා ඉතිහාසය කියන විෂයයන් තුනටම ඉහළම ප්‍රතිඵල අරගෙන මාතලේ දිස්ත්‍රික්කයෙන් 31 වැනියා වෙන්න මේ දිරිය තරුණයාට ගතවෙලා තියෙන්නේ මාස 9ක වගේ බොහොම කෙටි කාලයක්!
ඔහු මේ විභාගයට මුහුණ දීලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් දීපු විශේෂ පටිගත කිරීමේ ක්‍රමවේදය (Audio recording) පාවිච්චි කරලයි.
නිරෝෂන්ගේ මේ කතාව පිටුපස තියෙන්නේ ඇස්වලට කඳුළක් එන අතීතයක්. 2016 අවුරුද්දේ උසස් පෙළ සමත් වෙලා ගුරු විද්‍යාලයට යන්න ලෑස්ති වෙලා හිටපු නිරෝෂන්ට 2018 දී අවාසනාවන්ත විදියට ඇස්වල ආබාධයක් එනවා.
ඒකට බෙහෙත් ගනිද්දී දියවැඩියාව වගේ තවත් රෝග ඇවිත් 2024 වෙද්දී ඔහුගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම අන්ධ වෙනවා. ලෙඩ දුක් එක්කම ආර්ථික ප්‍රශ්නත් ආපු නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා හිටපු නිරෝෂන්ට ආයෙත් නැගිටින්න පාර පෙන්නන්නේ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනයයි.
ඔහුගේ මේ දැවැන්ත ජයග්‍රහණයේ රහස තමයි ඔහුගේ ආදරණීය නංගිලා දෙන්නා. අන්තර්ජාලයෙන් සහ පාස්ට් පේපර්ස්වලින් හොයාගත්ත පාඩම් සහ කෙටි සටහන් ඒ නංගිලා දෙන්නා නිරෝෂන්ට ඇහෙන්න Audio විදියට රෙකෝඩ් කරලා දීලා තියෙනවා.
ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදියට අද නිරෝෂන් කොළඹ හරි පේරාදෙණිය හරි කැම්පස් එකකට ගිහින් අනාගතයේ ගුරුවරයෙක් වෙන්න පෙරුම් පුරනවා. "වයස කියන්නේ නිකම්ම ඉලක්කමක් විතරයි, උත්සාහය තියෙනවා නම් ඕනෑම බාධකයක් ජයගන්න පුළුවන්" කියලා ඔහු මුළු ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි!
ජීවිතේ ප්‍රශ්න ආවම පලායන්න හදන අයට නිරෝෂන් කියන්නේ කියාපු ආදර්ශයක්!
මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද්දකි.