තරුණ ජවයෙන් පිරි විහඟ, ඊයේ (04) රාත්‍රියේ තම යතුරුපැදියෙන් පොලොන්නරුව දෙසට ගමන් කරමින් සිටියදී මුළු පළාතම කම්පා කළ ඒ අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙනවා.
පොලොන්නරුව - මහියංගනය මාර්ගයේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී විහඟට තම යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වී තිබෙනවා. ක්ෂණයකින් මාර්ගයෙන් ඉවතට ඇදී ගිය යතුරුපැදිය අසල තිබූ ගසක වැදී ඇත්තේ දැඩි විනාශයක් සිදු කරමින්.
අනතුරින් බරපතල තුවාල ලැබූ විහඟව වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත්, ඒ වන විටත් ප්‍රමාද වැඩියි. ජීවිතය දිනන්නට බොහෝ හීන දකිමින් සිටි ඒ 23 හැවිරිදි තරුණයා රෝහලට ඇතුළත් කරන විටත් මෙලොව හැර ගොස් අවසන්.
අංක 149, පල්ලේගම, සිරිපුර පදිංචිව සිටි විහඟගේ අකල් සමුගැනීම දරාගැනීමට ඔහුගේ පවුලේ අයට මෙන්ම ගම්වාසීන්ටත් තවමත් නොහැකි වී තිබෙනවා. "පුතා දැන් ඒවි" කියා මඟ බලා සිටි ඒ අම්මාට සහ තාත්තාට අහන්නට ලැබුණේ තම දරුවා සදහටම දෑස් පියාගත් අසුබ ආරංචියය
අද වන විට මහා මාර්ගවල සිදුවන මෙවැනි අනතුරු තරුණ ජීවිත කොයිතරම් බිලිගන්නවාද යන්නට විහඟගේ මේ මරණය තවත් එක් සංවේදී සාක්ෂියක් පමණි. දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.