ඒ තමයි සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රාජා රවී වර්මා අතින් නිමවුණු "යශෝධා සහ ක්‍රිෂ්ණා" සිතුවම.
පසුගිය බදාදා දිල්ලි නුවර පැවැති 'සැෆ්රන්ආර්ට්' (Saffronart) වෙන්දේසියේදී මේ සිතුවම අලෙවි වුණේ ඉන්දියානු රුපියල් බිලියන 1.67කටයි! (ඇමරිකානු ඩොලර් මිලියන 17.9ක් පමණ). මීට පෙර එම්.එෆ්. හුසේන්ගේ සිතුවමක් තබා තිබූ වාර්තාව මේ සමඟින් බිඳ වැටී තිබෙනවා.
මේ අතිවිශාල මුදල ගෙවා සිතුවම තමන් සතු කරගත්තේ ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන 'ඉන්දියානු සේරම් ආයතනයේ' (Serum Institute of India) නිර්මාතෘ, බිලියනපති ව්‍යාපාරික සයිරස් පූනවාලා විසිනුයි. ඔහු පවසන්නේ මෙය "ජාතික උරුමයක්" බවත්, ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය සඳහා මෙය විවෘත කරන බවත්ය.
1890 දශකයේදී තෙල් සායම්වලින් නිම කළ මේ සිතුවමෙන් දැක්වෙන්නේ කුඩා ක්‍රිෂ්ණා දෙවියන් සහ ඔහුගේ සුළු මව වන යශෝධා අතර ඇති ආදරණීය අවස්ථාවක්.
යශෝධා එළදෙනකගෙන් කිරි දොවමින් සිටින අතර,කුඩා ක්‍රිෂ්ණා කෝප්පයක් අතැතිව දඟකාර බැල්මකින් බලා සිටින අයුරු මෙහි ඉතාමත් ස්වභාවිකව සිතුවම් කර තිබෙනවා.
රාජා රවී වර්මාගේ සිතුවම් ඉන්දියාවේ "කලා නිධන්" ලෙස නම් කර ඇති නිසා මේවා රටින් බැහැරට ගෙන යාම සපුරා තහනම්. ඒ නිසාම මේ මහා වෙන්දේසියට ඉදිරිපත් වුණේ ඉන්දියානු ගැනුම්කරුවන් පමණයි.
දෙවියන්ව මිනිස් හැඟීම්වලට සමීපව සිතුවම් කළ රවී වර්මාගේ මේ අපූරු නිර්මාණය, අද වන විට ලොවම අවධානය දිනාගත් වටිනාම මූල්‍ය වත්කමක් බවටත් පත්ව තිබෙනවා.