ආදරය විශ්වාස කරපු හදවතකට දරාගන්න බැරි වේදනාවක් අවසානයේ තරුණ ජීවිතයක් බිලිගත් හද කම්පාකරවන සිදුවීමක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වෙනවා.
තමන් ආදරයෙන් බැඳී සිටි පෙම්වතිය වෙනත් තරුණයෙකු සමඟ විවාහ ගිවිසගත් බව දැනගැනීමෙන් පසු දැඩි මානසික පීඩාවකට ලක්වූ 26 හැවිරිදි කායවර්ධන ශිල්පියෙකු සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙලෙස ජීවිතයෙන් සමුගත් තරුණයා කිරන් නමැති වෘත්තියෙන් කායවර්ධන ශිල්පියෙකු සහ ව්‍යායාම පුහුණුකරුවෙකු බවත් ඔහු ඊයේ (07) බැංගලෝරයේ පිහිටි තම නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවත් වාර්තා වෙනවා.
වසර තුනකට ආසන්න කාලයක් ඔහු සහ පෙම්වතිය අතර ආදර සම්බන්ධතාවයක් පැවති බව පවුලේ ඥාතීන් පවසන අතර ඇය වෙනත් අයෙකු සමඟ විවාහ ගිවිසගත් බව ඔහුට දැනුම් දී විවාහ ආරාධනා පත්‍රය පෙන්වීමෙන් පසු කිරන් දැඩි ලෙස කඩා වැටී ඇති බව සඳහන්.
මෙම සිදුවීමෙන් පසු සති දෙකකට ආසන්න කාලයක් ඔහු දැඩි මානසික පීඩාවකින් පෙළී ඇති අතර, එම වේදනාව දරාගත නොහැකි වූ තැන ඊයේ (07) මෙම අවාසනාවන්ත තීරණය ගෙන ඇති බව පවුලේ අය කියා සිටිනවා.
තම මරණයට පෙම්වතිය සහ ඇයගේ මව වගකිව යුතු බව සඳහන් කරමින් ලිපියක්ද තබා ඇති බවට වාර්තා වන අතර, කිරන් පෙම්වතිය විවාහ කර ගැනීමේ අරමුණින් ඇයව තම පවුලට හඳුන්වා දී තිබූ බවද සඳහන්.
කෙසේ වෙතත් ඊයේ ඔහු නිවසේ තම කාමරයට ගොස් ඇති අතර, දිගු වේලාවක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් දොර කඩා බැලූ අවස්ථාවේ ඔහු මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පවුලේ අය විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුව, මහාලක්ෂ්මි පොලිසිය විසින් නඩුවක් ලියාපදිංචි කර වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.