වාහන අංක තහඩු නිකුත් කිරීමේ අත්හිටුවා ගතවූ මාස 9ක පමණ කාලය තුළ නව අංක තහඩු ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව අදාළ අංක තහඩු හිමි වාහන අතරට නව වාහන ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් සහ හිමිකම් මාරුකළ වාහන 25,000 කට අධික සංඛ්‍යාවක් ඇති බවත් අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වය හේතුවෙන් පසුගිය වසරේ (2025) අප්‍රේල් මස සිට අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවූ බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම වසරේ ජනවාරි මස පමණක් යතුරුපැදි ඇතුළු වාහන 55,238 ක් ලියාපදිංචි කර තිබූ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉබදිරි මාස කීපයේ ද ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් එකතුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.
වසර තුනකට පසුව පසුගිය වසරේ පෙබරවාරි මස නැවතත් වාහන ආනයනයට අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචි කිරීම ඉහළ ගිය බවත් පසුගිය වසරේ පමණක් යතුරුපැදි ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබූ බවත් එම දෙපාර්තමේන්තු පැවසූ අතර, පසුගිය ජනවාරි 6 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අංක තහඩු මුද්‍රණය සඳහා සැපයුම්කරුවකුට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
ඉන්දීය සමාගමක් වන සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් සමාගමට එම ටෙන්ඩරය පිරිනැමූ බව ද ඇතමතිවරයා පවසා තිබුණා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාගෙන් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ මාස තුනක පමණ කාලයකින් පසුව නව අංක තහඩු නිකුත් කිරීමේ හැකියාව ඇති බවයි.
ලංකාදීප පුවත්පත ඇසුරෙන්.