ලෝකයම දන්නා 'Confident Group' ව්‍යාපාරික අධිරාජ්‍යයේ හිමිකරු, ඩොලර් බිලියනපති සී.ජේ. රෝයිගේ බියකරු නිමාව මුළු ඉන්දියාවම පමණක් නොව ඩුබායි රාජ්‍යය පවා කම්පා කර තිබෙනවා.
රෝල්ස් රොයිස් 12ක් ඇතුළු ලොව මිල අධිකම වාහන පෝලිමක් තමන්ගේ ගරාජයේ තබාගෙන සිටි, "මගේ ව්‍යාපාර ණය රහිතයි" කියා ආඩම්බරයෙන් පැවසූ මේ සුපිරි ව්‍යාපාරිකයාට වැරදුණේ කොතැනද?
බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලය ආදායම් බදු (IT) නිලධාරීන්ගෙන් පිරී ගියේ පසුගිය 28 වැනිදාය.
දින කිහිපයක් තිස්සේ සිදුවූ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ රෝයි සිටියේ දැඩි මානසික පීඩනයකය. අවසානයේ ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
"මට මගේ අම්මට කෝල් එකක් ගන්න අවසර දෙන්න." නිලධාරීන් ඊට ඉඩ දුන් නමුත්, ඒ ඇමතුමෙන් පසුව ඇසුණේ දුරකථන හඬක් නොව මුළු කාර්යාලයම දෙවනත් කළ වෙඩි හඬකි!
නිලධාරීන් පසෙක සිටියදීම රෝයි සිය පිස්තෝලයෙන් පපුවට වෙඩි තබාගෙන ලේ විලක් මැද වැටී සිටියේය.
මියයන විට රෝයිගේ වයස අවුරුදු 57කි. පුදුමයට කරුණ නම්, මෙම ඛේදවාචකය සිදුවූයේ ඔහුගේ සමාගමේ 20 වැනි සංවත්සරය යෙදී තිබූ දිනයේදීම වීමයි.
රෝයි සතුව තිබූ වත්කම් ඕනෑම කෙනෙකු මවිතයට පත් කරන සුළුය:
රෝල්ස් රොයිස් 12ක්: සහ Bentley, Lamborghini, Bugatti Veyron ඇතුළු අති සුඛෝපභෝගී වාහන එකතුවක්.
පෞද්ගලික ජෙට් යානය: Gulfstream G650 යානයක්.
ව්‍යාපාරික බලය: ඉන්දියාව, ඩුබායි සහ ඇමරිකාවේ නිම කළ ව්‍යාපෘති 160කට අධික සංඛ්‍යාවක්.
රෝයි නිතරම කියා සිටියේ තම සමාගම ණය රහිත (Debt-free) බවයි.
රුපියල් කෝටි 2,000ක ලාභයක් අපේක්ෂාවෙන් සිටි, රුපියල් කෝටි 3,000ක ගොල්ෆ් සිටියක හිමිකරුවෙකු වූ ඔහුට, ආදායම් බදු වැටලීම හමුවේ මෙතරම් කලබල වීමට හේතුව කුමක්ද?
ඔහුගේ සොහොයුරා පවසන්නේ ව්‍යාපාරික ගැටලු නොතිබූ බවත්, නිලධාරීන්ගේ පීඩනය දරාගත නොහැකිව ඔහු මෙවැනි තීරණයක් ගත් බවත්ය.
සී.ජේ. රෝයිගේ මරණයත් සමඟ ව්‍යාපාරික ලෝකයේ සැඟවුණු අඳුරු පැතිකඩයන් සහ බිලියනපතියන් මුහුණ දෙන අතිශය පීඩාකාරී මානසික තත්ත්වයන් පිළිබඳව දැන් ලොකු කතාබහක් ඇති වී තිබේ.