ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට රැදී සිටි ආබාධිත රණවිරුවන් ඇතුලු අනෙකුත් සංවිධානවල පිරිස් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලුවීමට උත්සාහ කිරීමත් සමඟයි පොලීසිය මෙම ප්‍රහාරය එල්ල කළේ.
කොටුව දුම්රියපල ඉදිරිපිට දින කිහිපයක් තිස්සේ උපවාසයේ නිරත මෙම ආබාධිත රණවිරුවන් අද උදෑසන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියා.
ඒ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ භික්ෂු සංවිධාන කිහිපයක් සමඟයි.
ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි ගාලුපාර ප්‍රධාන මාර්ගයේ විරෝධතාකරුවන් රැදී සිටීම හේතුවෙන් ගාලු මුවදොර වටරවුමේ සිට කොළඹට පැමිණෙන සහ කොළඹ කොටුවේ සිට ගාලුපාර දෙසට ඇතුළු වන ලෝටස් වටරවුම අද උදෑසන වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබුණා.
ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව ආබාධිත රණවිරු සංවිධානයේ සභාපති ඇතුළු 6 දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට ඉඩකඩ සලසා දුන්නා.
සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවට අදට දින 7 ක් ගතවනවා.
මීට දින 3 කට පෙර ඔවුන් මෙම උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත් කළා.
කෙසේ වෙතත්, අද ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි ආබාධිත රණවිරුවන්ට සහය දැක්වීම සඳහා සිංහල රාවය, රාවණා බලය, ඇතුළු භික්ෂු සංවිධාන කිහිපයක් ද පැමිණ සිටියා.
මේ අතර උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් සමග සංවිධාන කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ විරෝධතාවක් පැවැත්වීමට උත්සාහ කරන බැවින් ඊට තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා කොටුව පොලීසිය අධිකරණයෙන් කල ඉල්ලීම අද ප්‍රතික්ෂේප කෙරුණා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කියා සිටියේ ආබාධිත රණවිරුවන් මෙතෙක් සිදුකළ විරෝධතාව හේතුවෙන් මහජන පීඩාවක් සිදුව නොමැති බවයි.
අනාගතයේ එවැනි පීඩාවක් ඇතිවන බවට අනුමාන කර අධිකරණයට නියෝග ලබාදිය නොහැකි බවද ඇය ප්‍රකාශ කළා.