බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්..
විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්..
නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්.. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි..
ඒත්, මස් සහ මාළු එක්ක බලනකොට බිත්තර කියන්නේ යම්තාක් දුරට ලාභදායි ප්‍රෝටීන සැපයුම්කරුවෙක්.. අපේ ආහාර වේලට බිත්තර එකතු කර ගැනීමේදී අපිට ඇතිවෙන ප්‍රධාන ගැටළුවලින් එකක් තමයි හැමදාම බිත්තර කන්න හොඳද කියන එක..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
කියන තරම්ම බිත්තර ගුණදායකද?
සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් ප්‍රෝටීන 6g කට ආසන්න ප්‍රමාණයකින් වගේම pප්‍රධාන වශයෙන් විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B12, විටමින් B9 (ෆෝලේට්) සහ ලුටෙයින් යන පෝෂක වලිනුත් සංතෘප්ත වෙනවා. විටමින් A, ඔබේ ඇස් වල නීරෝගී බව සහ පෙනීම වැඩිදියුණු කර, පරිවෘත්තීය ක්‍රියා සහ සෛලවල වර්ධනය උත්තේජනය කරන්නත්, විටමින් E, ඔක්සිකාරක හානි වලින් සෛල වලට ඇතිවිය හැකි විවිධ හානි වැළැක්වීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත්, විටමින් B12, ස්නායු සෛල සහ රුධිර සෛල නීරෝගීව පවත්වා ගැනීමටත්, විටමින් D, රුධිර පීඩනය අඩු කරන්න, මානසික ඒකාග්‍රතාව පවත්වා ගන්න, අස්ථි වල ශක්තිමත් බව පවත්වාගන්නත්, විටමින් B9, නව රතු රුධිරාණු ඇතිවීම උත්තේජනය කරන්න වගේම ගර්භණී සමයේ කළලයේ නීරෝගී වර්ධනයටත් උපකාරී වෙනවා. ඒ වගේම කැරට්, කහ, බතල සහ සැමන් වලත් අඩංගු වෙන කැරටිනොයිඩ ලෙස හඳුන්වන කාබනික වර්ණකයක් වන ලුටෙයින් වයසත් සමඟ ඇතිවෙන ඇස් පෙනීම දුර්වල වීම අඩුකරන්නත් උපකාරී වෙනවා. බිත්තර සුදු මදයේ සහ බිත්තර කහ මදයේ අඩංගු වන්නෙ එකිනෙකට වෙනස් පෝෂ්‍ය පදාර්ථයි. බිත්තර සුදුමදයේ බිත්තර වල අඩංගු සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රතිශතයෙන් 60% ක් අඩංගු වන අතර බිත්තර කහ මදයේ වැඩිපුරම කොලෙස්ට්‍රෝල් අඩංගුව පවතිනවා. මීට අමතරව හිසකෙස් සහ සමේ නීරෝගී බව ආරක්ෂා කරන්න, හදවත නීරෝගී කරන්න සහ ශරීරයට අවශ්‍ය ශක්තිය උපකාරී වෙන පෝෂකත් බිත්තර වල අඩංගු වෙනවා. ඉතිං ඇත්තටම බිත්තර කියන්නෙ කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි තරම් පෝෂ්‍ය පදාර්ථ වලින් සංතෘප්ත වී ඇති ආහාරයක් බව දැන් ඔබට වටහා ගන්නට පුළුවන් ඇති.
හැමදාම බිත්තර කන්න හොඳද?
ඔබට හෘද වාහීනි ආශ්‍රිත රෝග නැත්නම් ඒ වගේම ඔබේ රුධිරගත කොල්ස්ට්‍රෝල් මට්ටම නියමිත ලෙස පවතිනව නම් දවසකට බිත්තරයක් ආහාරයට ගැනීමේ ගැටළුවක් නැහැ. බිත්තරවල තියෙන්නේ Dietary cholesterol කියන කොලෙස්ට්‍රෝල් වර්ගය . ඉතින් එක බිත්තරයක Dietary cholesterol 200 mgක ප්‍රමාණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා . මේ ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ බිත්තර කහ මදයේ.. ඉතින් ඔයා මේ සම්බන්ධයෙන් ටිකක් අවදානයෙන් කටයුතු කරනවා නම් බිත්තර සුදු මදය විතරක් දිනපතා ආහාරයට එක් කර ගන්න පුළුවන්. හෘද වාහීනී ආශ්‍රිත රෝග වලින් සහ රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම සෞඛ්‍යාරක්ෂිත නොවන මට්ටමක පවතින ඔබ, ආහාරයට ගන්න බිත්තර ප්‍රමාණය සතියකට බිත්තර තුනකට හෝ හතරකට සීමා කිරීම වඩා ආරක්ෂිතයි. ඒ කොහොම වුනත් පුරුද්දක් විදිහට නිතරම බිත්තර කහ මද එකක් හෝ ආහාරයට ගැනීම වඩාත් සුදුසු වෙනවා. ඒ බිත්තර කහ මදයේ ඇති සංතෘප්ත මේදය, රුධිරයේ LDL කොලෙස්ට්‍රෝල් (ශරීරයට අහිතකර කොලෙස්ට්‍රෝල්) මට්ටම වැඩි කරන්න හේතුවෙන්න පුළුවන් නිසයි. බිත්තර ආහාරයට ගනිද්දි තෙල් එකතු කර ඔම්ලට් හෝ බිත්තර බුල්ස් – අයි ක්‍රමයට පිස ආහාරයට ගන්නවට වඩා බිත්තර තම්බා හෝ පෝච් (poach) ක්‍රමයට පිසගෙන ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. ඔබට හෘද රෝග, දියවැඩියාව හෝ කොලෙස්ට්‍රෝල් ඇත්නම් එහෙමත් නැත්නම් ඔබ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයෙක් නම් සතියකට ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර අවබෝධයක් ගැනීම සුදුසු වෙනවා. බිත්තර කියන්නෙ ඉතාම වටින ප්‍රෝටීන ප්‍රභවයක් කියල දැන් ඔබට වැටහෙනවනෙ. ඒ නිසාම සෞඛ්‍යාරක්ෂිත පරිදි බිත්තර ආහාරයට ගැනීමට මේ ලිපිය සමඟ ඔබට වැටහීමක් ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා..
බිත්තර ආහාරයට ගන්නේ මෙහෙමයි..
සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටළුවක්. ඔබ කාර්‍යශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ. නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටළුවක් නැහැ. ගර්භනී මව්වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය ආසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ. කොලෙස්ටරෝල් අවදානම අඩු ආහාරයක් හැටියට බිත්තර හදා ගන්නට එය එළවළු සමඟ ස්ක්‍රැම්බල් කර ගන්න..
කහ මදේ කන්න කළින්,
බිත්තර කහමදයේ විටමින් ඒ, ඩී, කැල්සියම්, යකඩ, පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදය ග්‍රෑම් 5ක් අඩංගු වනවා. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහමදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහ පාටක් උසුලන්නේ.
තම්බනවද? බදිනවද? නිකම්ම බොනවද?
බිත්තර කියන්නෙ ඉතාම ඉක්මණින් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහරයට ගැනීමත් එක සේ ගුණදායකයි. ඇතැමුන් බිත්තර අමුවෙන්ම ආහාරයට ගන්නවා. එහිදී වඩාත් පරිස්සම් විය යුතුයි. කුකුල් අසූචිවල ඇති සැල්මොනෙල්ලා නමැති විෂ බීජය බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවධානම තියෙනවා. මේ නිසා බිත්තර තැම්බීමෙන් හෝ බැදීමෙන් පසු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි.
කොයි බිත්තරෙත් අගුණයක් නෑ
සමහරුන්ගේ අදහසක් තියෙනවා ගම් බිත්තර ෆාම් බිත්තරවලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් බිත්තරවල පැහැය වැඩි වීමට හේතුව වන්නේ ඒ කිකිළියන් ආහාරයට ගන්නා ද්‍රව්‍යය නිසයි. ෆාම් කිකිළියන්ටත් අදාළ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාදෙන නිසා බිත්තරේ ගුණය පිළිබඳ ගැටළුවක් ඇතිවන්නෙ නැහැ.