අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.
අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කෙරුණු අතර, පොලිසිය සඳහන් කළේ 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පිරිසට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.
ඒ අතරින් එක් අයෙකු අම්බලන්තොට රෝහලට රැගෙනවිටත් මියගොස් තිබූ අතර සෙසු දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔවුන් තිදෙනාගේම ගෙලට සහ මුහුණට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය තිදෙනාම මාමඩල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන්.
නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මුල්කරගනිමින් මෙම ඝාතන සිදුව ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.