කටට රසට ආහාර කන්න ලාංකිකයින් වෙන අපි කවුරුත් කැමතියි...
ඉතින් එහෙම ආහාර ගත්තත්, ඒ නිසා ඇතිවෙන ලෙඩ රෝග ගැනත් ඔබ සැලකිලිමත්වීම වැදගත්..
ඔබත් මේ අවධානමෙක් පෙළෙන කෙනෙක්ද..? fatty liver කියන්නේ අද කාලේ බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙච්ච රෝගයක්.. මෙන්න ඒ ගැන කල්තියා දැනගන්න පුළුවන් ආකාර කිහිපයක්..
අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද්‍රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්.
අක්මාවේ තෙල් තැන්පත් වීම
fatty liver එහෙම නැත්නම් අක්මාවේ තෙල් කියන්නේ අද සාමාන්‍ය රෝගයක් බවට පත්වෙලා තියෙන තත්වයක්. සාමාන්‍යයෙන් අක්මාවේ තෙල් යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ තිබිය යුතු තෙල් ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේදය තැන්පත් වීම නම් රෝගී. තත්ත්වයක්. සාමාන්‍ය අවස්ථාවේ දී මේදය තැන්පත් වීම 5% ක් තරම් වුණාට රෝගී අවස්ථාවේදී එය 40% ක් දක්වා ඉහළ යනවා.සාමාන්‍ය පුද්ගලයෙකුගේ අක්මාවේ මේදය තිබිය යුත්තේ 30% කට වඩා අඩු ප්‍රමාණයක්. යම් විටෙක අක්මාවේ මේදය 30% ට ආසන්නව තියනවා නම් එය අනතුරු ඇඟවීමක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
fatty liver රෝගය හේතු කරගෙන විවිධ රෝග අවස්ථාවන් ඇති වෙනවා. ඒ අතරින් සිරෝසිස් කියලා කියන්නේ එක් අවස්ථාවක්. මත්පැන් පානය නොකළ පුද්ගලයෙකුට සිරෝසිස් ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයට අක්මාවේ මේද තැන්පත් වීම හේතු කරගෙනයි.
අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු
වැරදි ආහාර රටාව (අධික මේදය සහ පිෂ්ඨය සහිත ආහාර අනුභවය )
අධික මත්පැන් භාවිතය
ස්ථුලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝග
ජානමය ගැටලු
ශාරීරික අපද්‍රව්‍ය නිසි ලෙස ශරීරයෙන් බැහැර නොවී ශරීරය තුළ තැන්පත් වීම
මානසික ආතතිය
ආහාර පානවල කෘෂි රසායන වර්ග අඩංගු වීම
පොල්තෙල් නොවන වෙනත් අසංතෘප්ත මේද කොටස්
ස්ටෙරොයිඩ ආදී ඖෂධ දීර්ඝකාලීනව ලබා ගැනීම
ජලය නිසි පරිදි පානය නොකිරීම
කුසගින්නේ සිටීම
ප්‍රමාණවත් තරම් ක්‍රියාශීලී නොවීම
වේදනා නාශක නිතර භාවිතය
මත්ද්‍රව්‍යවලටත් වඩා දරුණු බවක් මෙම වේදනා නාශකවල පවතිනවා.වේදනා නාශකවල අඩංගු ඇසිටමිනොෆින් රසායනිකය ඉතාමත් දරුණු ලෙස අක්මාවට හානි කරනවා.එම හානිය අවම කිරීමට අක්මාවේ මේදය තැන්පත් වෙනවා. පැය අටෙන් අටට ගත යුතු වේදනා නාශක අඩු කාලයක් තුළ නැවත නොගත යුතු වෙනවා. එයට හේතුව වේදනා නාශකවල ඇති ඇසිටමිනොෆින් අක්මාවට කරන හානිය නැවත සකස් කිරීමට පැය 6 ක් පමණ අවශ්‍ය වීමයි.
පෝෂණ හා විටමින් ඌණතාවය
අක්මාවේ තෙල් තැන්පත් වී ඇති විට පෙන්වන රෝග ලක්ෂණ
මේ රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ හඳුනා ගන්නට තරමක් අපහසුයි. රෝග ලක්ෂණ පහළ වෙන්නේ අක්මාවේ මේදය 40% ක් 50% ක් පමණ ප්‍රමාණයකට තැන්පත් වුණාට පසුව. නමුත් ඇතැම්විට අක්මාවේ තෙල් අධිකව තිබුණත් මේ රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාත් තියෙනවා.
ශරීරය අප්‍රාණික වීම
ආහාර අරුචිය
විශේෂයෙන්ම තෙල් කෑම ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් ඇති නොවීම මෙහිදී දකින්නට පුළුවන්.
උදරයේ වේදනාව
මලබද්ධය
රෝගී වුණු අක්මාව ඉදිමීම නිසා ඊට අනුරූපව උදරය ඉදිමීම
උදරයේ දකුණු පැත්තේ නිතරම ඇතිවන තද බව සහ වේදනාව
අජීර්ණය
ඔක්කාරය
වමනය
අලස බව
බඩ පිපීම හෝ දෙපාවල වළලුකර ඉදිමීම
අක්මාව බොහෝ දුරට ආසාදනයට ලක් වුණොත් ශරීරයේ කැසීම් ඇතිවීම, දිගටම වමනය ඇතිවීම, මුත්‍රා ප්ලේන් ටී පැහැයක් ගැනීම, මලපහවල කහ පාට අඩුවීම සහ කල්පනාව මද බව ආදි ලක්ෂණත් දකින්නට හැකියාව ලැබෙනවා .
මේ තත්ත්වයන් වඩාත් දරුණු වීම නිසා පිරිමින්ගේ පියයුරු කාන්තාවකගේ පියයුරු මෙන් විශාල වෙනවා. ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වයක් ඇතිවීමත් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නැවතීමත් සිදු වෙනවා. මෙයට හේතුව අක්මාවේ හෝර්මෝන නිපදවීම අඩපණ වීම. මේ නිසා ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි වී කාන්තා ලක්ෂණ මතු වෙන්නත් පටන් ගන්නවා.
නමුත් මේ කිසිම ලක්ෂණයක් නොපෙන්වා වුණත් අක්මාව රෝගී වෙන්න හැකියාව තියෙනවා.
කොහොමවුණත් මේ ලක්ෂණවලින් ඔබ පීඩා විඳිනවා නම් මේ රෝගය හඳුනා ගන්නට හැකි විධිමත් පරීක්ෂණයක් ඒ සඳහා කළ යුතුයි. එම පරීක්ෂණය liver function test නමින් හඳුන්වනවා. එය සිදු කිරීමෙන් අක්මාවේ නිපදවෙන එන්සයිමවල ගණනය කිරීම තුළින් රෝගියා ෆැටි ලිවර් සහිත රෝගියෙක් ද නැද්ද යන්න තීරණය කර ගන්නට හැකියාව ලැබෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්..