මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී පොලීසියට හමුවූ පුවතක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පොලීසිය පවසන්නේ, මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථ දෙකකින් පවුල් දෙකක් කතරගම හරහා නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මීගමුව බලා යමින් සිටියදී ඉන් එක් ත්‍රිරෝද රථයක සිටි මවගේ අතේ සිටි බිළිඳෙකු කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී මෙලෙස ලිස්සා ගොස් මාර්ගයට වැටී ඇති බවයි.
එම අවස්ථාවේදී මවට නින්ද ගොස් සිටින්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරනවා.
මෙම සිදුවීම ඊයේ රාත්‍රී 11.35ට පමණ සිදු වී ඇති අතර එම මාර්ගයේම ත්‍රිරෝද රථයට පසුපසින් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ වැටී සිටි බිළිඳා ව දැක නැවත හරවාවිත් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
අනතුරුව එම මෝටර් රථයේ පුද්ගලයින් කුඩා බිළිඳාව කිතුල්ගල පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර අනතුරුව පොලීසිය විසින් කඩිනමින් බිළිඳාව කිතුල්ගල රෝහලට ඇතුළත් කර තිබුණා.
පසුව දරුවා නොමැති බව දැනගත් ත්‍රිරෝද රථයේ ගමන්කළ පිරිස නැවත හරවාගොස් මාර්ගය සෝදිසි කරමින් ගමන්කරමින් සිටියදී දරුවා රෝහල්ගතකළ බව ඔවුන්ට දැනගන්නට ලැබී තිබෙනවා.
අනතුරුව මව ඇතුළු පිරිස කිතුල්ගල රෝහලට ගොස් ඇති අතර දරුවාව කඩිනමින් මව සමගම කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවළදී අනාවරණය වී ඇත්තේ දරුවා නිරුපද්‍රිතව සිටින බවයි.