ඒ අතරතුරේ ඇසෙන කතාවක් තමයි මේ.බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංකට අහිමි වී තිබෙනවා.
ඒ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය අතරවාරයේදී ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක තවමත් පූර්ණ සුවය ලබා නොතිබීම හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවට ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
බංග්ලාදේශ සංචාරය අහිමිව යන දෙවැනි ක්‍රීඩකයා පැතුම්වන අතර ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීරට ද මෙම තරගාවලිය අහිමිව ගියා.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක තහනමක් පැනවීම නිසා ශ්‍රී ලංකා පන්දුවාර 20 නිත්‍ය නායක වනිඳු හසරංගට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු පන්දුවාර 20 තරග දෙක අහිමිව යන අතර ඔහු වෙනුවට සංචිතයට ජෙෆ්රි වැන්ඩර්සේ කැඳවීමටත් නියමිතයි.
ඒ අනුව එම තරග දෙකේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක චරිත් අසලංක වෙත පැවැරෙනු ඇති.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා කිසිඳු සංචිතයක් මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අරඹමින් පළමු පන්දුවාර 20 තරගය ලබන මස 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව ක්‍රීඩකයින් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග, ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස සහ පන්දුවාර 20 නායක වනිඳු හසරංග,චරිත් අසලංක මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ,දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් එක්ව සිටියා.