අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කරනවා.
දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා පොල් වතුර කැඳ දොඩම් සුප් වැනි පාන වර්ග මේ දිනවල වැඩි වශයෙන් පානයට ගැනීම ඉතාමත් සුදුසු බවයි ඔහු පවසන්නේ.
විශේෂයෙන්ම ක්‍රීඩා තරග උදේ වරුවේ හෝ ඉර බැස ගිය පසු සවස් යාමයේ පවත්වන්නේ නම් විජලනය සෑහෙන දුරට වළක්වා ගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා අධික අව් රශ්මිය පවතී නම් සෙවණ සහිත ස්ථානවල ක්‍රීඩා කටයුතු කිරීම වැදගත් බවද ප්‍රකාශ කරනවා.
එළිමහනේ කුඹුරු වැඩ කරන, මාර්ගවල වැඩ කරන සහ හමුදාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් අධික විජලනයට ලක්විය හැකි හෙයින් වැඩි වශයෙන් වතුර පානය කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දෙනවා.
අව්ව සහිත වේලාවන්හිදී එළිමහනේ සිටියදී සුදු සරල කපු ඇඳුමකින් සැරසී තොප්පියක් හෝ වෙනත් හිස් වැසුමක් පැළඳීම වැදගත් බව පැවසූ දීපාල් පෙරේරා මහතා මත්පැන් පානයෙන් ශරීර උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බවද සදහන් කර සිටියා.
පාසල් යද්දී දරුවන්මේ දිනවල වතුර බෝතල් දෙකක් රැගෙන යෑම වැදගත් බවත් වතුර වරින්වර බොන ලෙස ගුරුවරුන් දරුවන් දැනුවත් කළ යුතු බවත් ඔහු පවසන අතර මේ දිනවල දිනකට දෙපාරක් හෝ දිය නෑම ඉතා සුදුසු බවත් දරුවන්ට වතුරේ බැස සිටීමට සැලැස්වීමද ප්‍රතිඵලදායක බවත් සදහන් කළා.
මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් දරුවන්ට තාප කම්පන තත්වයන් ඇතිවී මරණය පවා සිදුවිය හැකි බව පැවසූ හෙතෙම පාසල් රැසක දරුවන් තාප කම්පන තත්වයන් ඇතිවී ක්ලාන්ත වී ඇතැයි වාර්තාවූ බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම දරුවන් වාහනවල රඳවා පිටතට යෑමෙන් වළකින්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන දීපාල් පෙරේරා මහතා අධික වියළි කාලගුණය සමග නිසි වාතාශ්‍රය නොලැබීම හේතුවෙන් දරුවන් වාහන තුළදී තාප කම්පන තත්වයන්ට පත්වී මරණය පවා ඇතිවිය හැකි බවද පෙන්වා දුන්නේය.