දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ලබා දුන් පෙම් හසුනක් සිසුවියගේ පියාට හසුවී තිබෙනවා. පෙම් හසුන දැක උරණ වූ පියා පෙම් හසුන ලබාදුන් සිසුවා පැහැරගෙන පෙම්හසුන සිසුවාට කවා සිසුවියගේ මුත්‍රා පොවා, ඇස්වලට මිරිස් කුඩු ගසා ගසක බැඳ පහරදී තිබෙනවා.
මේ හේතුවෙන් දරුණු ලෙස තුවල ලබා සිටි සිසුවා පසුව තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. තඹුත්තේගම ප්‍රදේශයේ එකම පාසලක අධ්‍යාපනය හදාරන සිසුවා හා සිසුවිය කුඩාගම ප්‍රදේශයේ පදිංචිවකරුවන්. පසුගිය 24 වැනිදා මෙම සිද්ධියට සම්බන්ධ සිසුවියගේ පියා විසින් මෙම සිසුවා තම නිවෙසට බලෙන් ගෙන ගොස් ගසක බැඳ දෑස්වලට මිරිස් කුඩු ගසා ඉණ බඳින බඳ පටියකින් හා වේවැලකින් දරුණු ලෙස පහරදී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
සිසුවා පැහැරගෙන ගිය බව දැනගත් ඔහුගේ පුංචි අම්මා ඔහු සොයා යද්දී අදාළ සිසුවා ගසක බැඳ සිහිසුන්ව සිටිනු දැක බැඳ තිබූ ගසෙන් ලිහා රැගෙන විත් රෝහල් ගත කළා. තඹුත්තේගම රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබන සිසුවා පවසා තිබුණේ මෙවැන්නක්.
"පසුගිය 24 වැනිදා හවස මම පාසලේ පිට්ටනියේ සෙල්ලම් කරමින් ඉන්නවිට ලියුමක් ගැන අහන්න තියෙනවා කියලා බලෙන්ම මම බයික් එකේ දාගෙන අරගෙන ගියා. අරන් ගිහින් ගෙදර ළඟ ගහක බැඳලා මට ඔළුවට, පපුවට, මූණට ගැහුවා. මගේ ඇස්දෙක නිලංකාර වේගෙන එන නිසා මම වතුර ටිකක් ඉල්ලුවාම මම ලියුම දුන්නු ගැනූ ළමයට මුත්‍රා කරන්න කියලා මට ඒවා බලෙන්ම පෙව්වා. මගේ ඇස් දෙක පෙන්නෙ නැති වෙන්න ඇස්වල මිරිස් කුඩු ගෑවා. ඊට පස්සේ මට අමාරු වුණු නිසා අම්මයි පුංචි අම්මයි මාව රෝහලට අරන් ගියා."
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑ සිසුවාගේ මව විසින් තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනතුරුත් තඹුත්තේගම පොලිසිය විසින් තම පුතුට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බවට සිසුවාගේ මව චෝදනා කරනවා. තම දරුවා පැහැරගෙන ගොස් දස වද දී සතියක කාලයක් ගතවී ඇතත් තඹුත්තේගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන නැති බව පවසමින් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ගනු ලබන සිසුවාගේ මව විසින් තඹුත්තේගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාට පසුගිය 29 වැනිදා පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් සිසුවාගේ මව පවසන්නේ මෙවැන්නක්.
"මේ සිද්ධිය නිසා මගේ දරුවා හොඳටම බයවෙලා ඉන්නේ. එයා ක්‍රීඩා කරන්න හරි දක්‍ෂයි. ගමේ ළමයි ගොඩාක් ඉදිරිපිට මේ පහරදීම සිදුකළ නිසා දරුවා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. දරුවා ආයේ පාසල් යන්නත් බැහැ කියනවා. මගේ දරුවට දසවද දුන් පුද්ගලයා තවම කිසිම කරදරයක් නැතිව ඉන්නවා. පොලිසියට යන විට ඒ අය කියනවා ඒ පුද්ගලයා අල්ලගන්න බැහැ" පුළුවන්නම් අල්ලලා දෙන්න කියනවා. අපිට අල්ලගන්න පුළුවන් නම් අපි පොලිසියට යන්නේ නැහැනේ."
පාසල් සිසුවාට පහරදුන් සැකකරු තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් තඹුත්ගේගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක පවසන්නේ මෙවැන්නක්
"මේ සැකකරු අත්අඩංගුවට ගන්න තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් කිහිප අවස්ථාවක් ඔහුගේ නිවෙසට ගිහින් තියෙනවා. පොලිසිය යන විට සැකකරු හැංගෙනවා. සිවිල් පිටත් පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගන්න ගිහින් තියෙනවා. ඒත් ඔහු ඉඳලා නැහැ. මොහුගේ නිවෙස ළඟ පැය ගණක් රැකලා හිටියත් අත්අඩංගුවට ගන්න බැරිවෙලා තියෙනවා. නමුත් සැකකරු අත්අඩංගුවට ගැනීම පොලිසිය අතහැරලා නැහැ."