29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් අනාවරණය වූ සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඊයේ නියෝගකළා.
මරණකරුගේ විවාහක ගැබිනි බිරිඳ වූ ශෂිකා නිශාමනී මුණසිංහ පැය එක හමාරක් පමණ සාක්කි ලබා දී තිබෙනවා. ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා - සිය සැමියාට මරණය ගෙන දුන් පහර දීමේ සිද්ධියට පැමිණි බව තමා හඳුනා ගත් බවයි.
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මෙම සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් පැවසුවේ මරණ පරීක්ෂණයක දී අපරාධයක් සිදු වී ඇති බවට සාක්කියකින් සැකයක් මතු වන්නේ නම් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි.
ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මේ අතර නඩුවක දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර යුක්තිය ඉටු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ පවසයි.
ඔහු එම ප්‍රකාශය කළේ ඇඹිලිපිටිය ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා මෙන් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු විසින් සිදු කරන ලද නියෝගයෙන් අනතුරුවයි.
පසුගිය ජනවාරි මස දහතුන් වැනිදා මුලින්ම මේ මරණය පිළිබඳ සාක්ෂි විමසීම පැවැත්විණි. ඒ ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් ගොඩනැඟිල්ලේ දෙවැනි මහලේ විවෘත අධිකරණයේදීය. එහිදී සාක්ෂි විමසීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද අධිකරණ පොලිස් නිලධාරියා වාර්තා පොත් තමන් භාරයට ගෙන අර්බුදකාරී තත්ත්වයක්ද එහි උද්ගත විය.
අනතුරුව පසු දින එනම් ජනවාරි මස දාහතර වැනිදාද මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම පැවැත්විණි. එම දින දෙකෙහිම පොලිසිය වෙනුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාද ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ විජිත පුංචිහේවා ඇතුළු නීතිඥ මඬුල්ලක් ඉදිරිපත් විය.
පොලිසිය වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාක්ෂි මෙහෙයවීමට විරෝධය දක්වා අගතියට පත් පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ඇතුළු ඥාතීන් පසුගිය දාහතර වැනිදා ඇඹිලිපිටිය උසාවිය ඉදිරියේ විරෝධයද දැක්වීය. ඒ සමඟ නීතිඥ සංගම්වල විරෝධයද මතුවිය. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාක්ෂි මෙහෙයවීමෙන් ඉවත් විය.
ඒ අනුව මිය ගිය සුමිත් ප්‍රසන්නගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිදුවූ ඊයේ (27දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැමිණ සිටියේ නැත. එදින සාක්ෂි සඳහා අධිකරණයට ඉදිරිපත් වුණු මියගිය තරුණයාගේ බිරිය මෙසේ පැවැසුවාය. 'සහකාර පොලිස් අධිකාරිවරයා මගෙ සැමියට පහරදීලා උඩුමහල දිගේ ඇදගෙන ගිහින් පහළට තල්ලු කළා. මං ඒ වෙලාවෙ පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලුවෙ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා මහත්තයට පහර දෙන්න එපා කියලා. ඒත් ඒ වෙලාවෙ මගෙ ඉල්ලීමට ඇහුන්කම් දුන්නෙ නෑ.
උඩුමහලින් වැටුණු මහත්තයා ළඟට ගියාම එයා මට කතා කළා. බය වෙන්න එපා මට මොකුත් වෙන්නෙ නෑ කියලා එයා කීවා.
මම පහුවදාම ඒ ගැන පැමිණිලි කරන්න පොලිසියට ගියා. ඒත් පොලිසියෙ අය මට කීවෙ පොලසියට විරුද්ධව පැමිණිලි කරල වැඩක් නෑ කියලා. මගෙ මහත්තයා අපරාධකාරයෙක් කියන දේ අඟවන්න පොලිසිය උත්සාහ කළා. එදා මට තේරුණා එතැනින් කිසිම සාධාරණයක් වෙන්න නෑ කියා.'
ඇය ගර්භණීව සිටි නිසාම විත්ති කූඩුවේ අසුනක වාඩිවී කටඋත්තර ලබාදීමට ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඇයට අවසර ලබාදුනි.VIDEO