බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබදව පාකිස්තාන රජය සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට පාකිස්තාන මහකොමසාරිස් සාද් කත්තාක් සදහන් කර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් උදා වී ඇති ආර්ථික වශයෙන් දුෂ්කර සමයක රටේ ප්‍රතිරූපය සම්බන්ධ වෙනත් අභියෝග ද පවතින බවයි මහකොමසාරිස්වරයා එහිදී සිහිපත් කළේ.
පාකිස්තාන මහකොමසාරිස්වරයාගේ එම ට්විටර් පණිවුඩයට ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ද සිය ට්විටර් ගිණුමේ සදහනක් යොදා තිබුණා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීම ගැන ඔහුට ස්තූතිය පළ කරන බවයි.
එමෙන්ම, වාර්ගිකත්වය හෝ ආගමික පසුබිම නොතකා සියළු ශ්‍රී ලාංකිකයන් එක්සත් වන්නේ නම්, විවිධාංගීකරණය සඳහා මෙය අවස්ථාවක් නොවනු ඇති බවයි රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැලදීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අත්සන් තැබුවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ විජිත් මළල්ගොඩ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන්ට අනුව 2019 වසරේ මැයි මස 13 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙවැනිම නීතියක් පනවනු ලැබුවා.
ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ ස්ථානවල අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවන පරිදි සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඳුමක්, ඇඟළුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවටයි එම ගැසට් පත්‍රයේ සඳහන් වුණේ.
මේ අතර මද්ද්‍රාසා පාසල් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජය නියෝගයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.