මේ රටේ පුරවැසියකු විධියට මගේ පෞද්ගලික අරමුණ වුණේ මේ ආණ්ඩුව බලයට පත්කිරීම සහ මෙම නායකත්වය පත් කරගැනීම. රටට අවශ්‍ය වෙනස් මාදිලියක නායකත්වය අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දැක්කා. ඒ නිසා තමයි එතුමාව මේ රටේ නායකයා විධියට පත්කර ගන්නෙ. එතුමත් පිළිගන්නවා එතුමා වෙනස් කෙනකු බව. මට නැවත දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නැහැ කියලා එතුමා කිව්වා. මම හරිම කැමැතියි එතුමාගේ ප්‍රකාශයට. මම හිතන්නේ අපේ රටේ ඉන්න සියලුම දේශපාලන නායකයන් සිතිය යුත්තේත් ඒ ආකාරයට. ඒක තමයි අපේ ළඟට සාර්ථකත්වය ගෙන දෙන ක්‍රමය.
ඔබේ බලාපොරොත්තුව ඉටුවෙලා වසරක කාලයක් ගෙවී අවසන්. ඒ ගතවුණු කාලය තුළ ආණ්ඩුව ඵලදායි යමක් කළ බව ඔබ විශ්වාස කරනවාද?
පසුගිය කාලවකවානු තුළ අපේ රට පැවැතුණු ආකාරය ගැන මේ රටේ සියලුම දෙනාට හොඳ අවබෝධයක් තිබෙනවානේ. සංවර්ධනය කියන එක වසර ගණනාවක් පුරාම නොවුණු රටක් මේක. සෑම ක්ෂේත්‍රයක්ම එකම තැනක තිබෙන බවක් තමයි පේන්නේ. මේ තත්ත්වය ක්ෂණිකව වෙනස් කරයි කියන බලාපොරොත්තුව තමයි හැමෝටම තිබුණේ. නමුත් ඇත්තටම අපි තේරුම් ගත යුතුයි මේක ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක.
නමුත් ඡන්දය දුන්නු ජනතාවත් දැන් දැඩි පසුතැවීමකින් සිටින බවක් තමයි පැවැසෙන්නෙ?
මෙහෙමයි. මම කිව්වනේ අපිට අවුරුදු ගණනාවක් පැවැතුණු ක්‍රමවේදයන් සියල්ල මාසෙකින්, දෙකකින්, වසරකින් වෙනස් කරන්න අමාරුයි.
ඒක ක්‍රමිකව සිදුවිය යුතු දෙයක්. ජනතාව බලාපොරොත්තු වෙනවා තමයි ඉක්මන් වෙනසක්. ඒකට ජනතාවට ෙදාස් කියන්නත් බැහැ. මෙතැන තිබෙන්නේ ප්‍රායෝගික ගැටලුවක්. අපි සිතන වේගයටම දේවල් කරන්න අපහසු බව ඇත්ත. නමුත් ජනාධිපතිතුමා මහපොළොවට බැහැලා මිනිස්සුන්ට දැනෙන වැඩ රාශියක් කරන බව පේනවා. ගම සමඟ පිළිසඳරක් වැඩසටහනත් සමඟ එතුමා මේ මහපොළොවෙ තිබෙන මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව පේනවා. මම තව උදාහරණයක් කියන්නම්.
අපි නැඟෙනහිර පර්යන්තයේ ගැටලුව ගැන කතා කරමුකෝ. ඕක ඇත්තටම මුළු රටේම තිබෙන එකම ප්‍රශ්නය නෙවෙයි. ඇත්තටම ඒක දේශපාලනික ගැටලුවක්. ඒක රටේ ජනතාවට තිබෙන එකම සහ ලොකුම ප්‍රශ්නය කරගෙන ජීවත් වීම නෙවෙයි ජනතා අපේක්ෂාව. එතැනින් එහා සීමාවට ගොසින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න හඳුනාගැනීම තමයි ගම සමඟ පිළිසඳරෙන් වෙන්නෙ.
විපක්ෂය නම් කියන්නේ ඒකත් ඔවුන්ගෙන් කොපි කරලා කරපු නිකන්ම නිකන් මාධ්‍ය සන්දර්ශනයක් විතරයි කියලා?
විපක්ෂය නඟන චෝදනාවලට පිළිතුරු දෙන එක නෙවෙයි දේශපාලනය කියන්නේ. ඒ නිසා ඒවාට පිළිතුරු දෙන්න හෝ ඒවාට හේතු කියන්න මම මගේ කාලය වැය කරන්නෙ නැහැ. ජපන්නුත් කියලා තිබෙනවානේ ප්‍රශ්නය තිබෙන තැනට ගිහින් ඒක නිරීක්ෂණය කළොත් තමයි ඒක විසඳීමට සුදුසුම අදහස එන්නේ කියලා. ජනාධිපතිතුමා සෘජුවම මිනිස්සු සමීපයට ගොස් මේ ප්‍රශ්න කතා කිරීම තුළ එතුමා යම් ප්‍රායෝගික දැනුමක් ලබා ගන්නවා රටේ ඇත්තම ප්‍රශ්න ගැන. මම විශ්වාස කරනවා මේ වැඩසටහන ඇතුළේ එතුමා නිහඬව බොහෝ දේවල් අවබෝධ කරගන්නවා කියලා.
මිනිස්සු පරිණාමය වෙනවා. වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙන්න, දියුණු වෙන්න කැමැතියිනේ. නමුත් ඒකට අවශ්‍ය මාවත විවෘත නොවුණම මිනිස්සු අරගල කරනවා. ඒකට මාවත සකසන්න තමයි මේ සූදානම් වෙන්නෙ. පාරවල් හදන එකයි මුල් ගල් තියන එකයිනේ දේශපාලනය කියලා හිතන්නේ. ඇත්තටම මිනිස්සුත් ඒවා කළාම ලොකුවට සතුටු වෙනවා. නමුත් ඒවා ගැන නෙවෙයි සතුටු විය යුතු.
පාරවල් තිබෙන්නෙ හදන්න තමයි. ඒවා අනිවාර්යයෙන්ම හදන්නත් අවශ්‍යයි. ඒවා මූලික අවශ්‍යතානේ. ඒවා රටකට තිබෙන්නම ඕනෑ. නමුත් මම කියන්නෙ ජනතාවත් එතැනින් දැන් විතැන් විය යුතුයි. ජනතාව නායකයන්ගෙන් ඊට වඩා දේවල් අපේක්ෂා කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි නව නායකයෙක් පත්කරගත්තෙ. නායකයා විතරක් වෙනස් වෙලා වැඩක් නෑ. රටේ ජනතාවත් සිතන පතන ආකාරය වෙනස් කරගන්න අවශ්‍යයි.
පසුගිය මැතිවරණ වේදිකාවල ආකර්ෂණීයම සටන් පාඨ වුණේ පාස්කු දින ප්‍රහාරය සහ බැඳුම්කරය. මේවා සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් ඇල්මැරුණ ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නෙ?
මගේ ඉල්ලීමත් ඒකම තමයි. මම එකඟයි. මාත් ඉන්නෙ මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්න ඕනා කියන ස්ථාවරයේ. ඇත්තටම මම මේ රටේ දේශපාලනයට එන්න ඕනා, මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනා කියන අභිප්‍රේරණය එන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි ඔය ම්ලේච්ඡ පාස්කු දින ප්‍රහාරය.
ඒ සිද්ධිය අහපු වෙලාවේ මට අතිශය වේදනාවක් සංවේගයක් දැනුණා. මමත් ඉන්නෙ කඩිනමින් මේකට වගකිවයුත්තන් සොයන්න ඕනා කියන ස්ථාවරයේ. ඇත්තටම විය යුත්තේ සංවාද කිරීමවත් විවේචන, චෝදනා කිරීම්වත් නෙවෙයි. නීතිය ස්වාධීනයි නම්, සැමට සමානයි නම් මේකට වගකිව යුත්තන්ව නීතිය හමුවට පැමිණවිය යුතුමයි. එතැන්ින් එහාට වෙන කරන්නම දෙයක් නෑ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් කිහිපයක් සඟවලා මේක වහන්න, යට ගහන්න සූදානමක් තිබෙන බවට විපක්ෂය චෝදනා කරනවා?
පසුගිය බදාදත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැතුණා. කොමිෂන් සභාවේ අවසන් තීරණය ලබා දෙන්න අප සූදානමක ඉන්නවා. ඒ සියල්ල හොඳයි. යම් කිසි ක්‍රියාවලියක නිරත වෙලා තිබෙනවානේ. පස් ලෝඩ් එකක් ගෙදරට ගේන්න විතරයි නම් බලපත්‍රයක් තිබෙන්නෙ ඊට වඩා වැඩි දෙයක් කළොත් අල්ලලා හිරේ දානවානේ.
ඉතින් ඒ ක්‍රියාවලියම තමයි මේ වෙන්නේ. නැතිව මෙතැන හංගලා ගහන දෙයක් වෙන්නෙ නෑ. කතෝලික අගරදගුරු සමුළුවත් ප්‍රකාශයක් නිකුත් කළානෙ, මේ වාර්තාව උන්වහන්සේලා අධ්‍යයනය කළා සහ අනාවරණය වුණු කරුණු සහ නිර්දේශ පිළිගන්නවා කියලා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරලා ඉක්මනින්ම විසඳුමකට යන එක තමයි ආණ්ඩුවෙත් අපේක්ෂාව වෙන්නෙ.
මමත් ඉන්නෙ මේ ම්ලේච්ඡ අපරාධයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වුණු සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි කියන ස්ථාවරයේ. ඒ හා සමානව තවත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා බැඳුම්කර වංචාවත් ඇතුළුව. ඒවාත් කඩිනමින් විසඳිය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒවාට විසඳුම් දෙන්න පුළුවන් සෘජු නායකයෙක් විධියට තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව දකින්නෙ.
නායකයා සෘජු වුණාට ඔහු සමඟ සිටින ඇමැතිවරු සහ නිලධාරීන් කාර්යක්ෂම නැත්නම් ජනාධිපතිතුමාගේ තීරණ පහළටම ගලාගෙන යන්නෙ නැත්නම් එතැන ගැටලුවක් තිබෙනවා නේද?
මුලින්ම විනය හැදෙන්න අවශ්‍යයි. ඉන් පසුව තමයි සංවර්ධනය සිදුවෙන්නෙ. ඒකෙනුත් පසුව තමයි සෞභාග්‍යය ඇති වෙන්නෙ. මේවත් සිදුවෙලා අවසානයේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නෙ. අපි බොහොමයක් වෙලාවට රටවල් දියුණුයි කිය කිය ඉන්නෙ නැතිව ඇයි අපිට බැරි ඒ තත්ත්වයට යන්න. වෙනත් රටවල් දියුණුයි කියලා කියන තැනම තියෙනවානේ අපි නොදියුණුයි කියන එක. අපිට තිබෙනවානේ වසර 2,500ක ප්‍රෞඪ ඉතිහාසයක්. නමුත් අපිට තවම පාරක් හරියට හදාගන්න බෑ. අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ සුදුස්සන් නිර්මාණය කර ගැනීම.
සරත් වීරසේකර ඇමැතිවරයා පැවැසුවා හමුදා පුහුණුවක් දෙන්න ඕනා කියලා. ඒ වගේ විනය හැදෙන සුදුස්සන් නිර්මාණය වෙන පුහුණුවක් මිනිස්සුන්ට ඕනෑ. සාමාන්‍ය පෙළ කරලා නිවෙසට වෙලා ඉන්න කාලයෙන් මාස දෙකක් වගෙ කාලයක හෝ ඒ පුහුණුව ලබා දෙන්න පුළුවන් නම් හොඳයි.
ඔබ යෝජනා කරන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ විනය හැදෙන්න නම් ඔවුන්ට මිලිටරි පුහුණුවක් ලබා දිය යුතුයි කියලද?
නෑ... නෑ... මම කියන්නෙ නැහැ මිනිස්සුන්ට හමුදා පුහුණුවක් දෙන්න ඕනා කියලා. මම කියන්නෙ මිනිස්සුන්ගෙ විනය ආකල්ප හදන්න යම් පුහුණුවක් ලැබෙනවා නම් හොඳයි කියලයි. ඒ දෙන්නෙ හමුදා පුහුණුවක්ද නැත්නම් ආධ්‍යාත්මික පුහුණුවක්ද හෝ වෙනත් ආකාරයක පුහුණුවක්ද කියන එක ඊට අදාළව තීන්දු තීරණ ගන්න විශේෂඥයෝ තීරණය කළ යුතුයි. කොහොම හරි විනය සම්බන්ධයෙන් පුහුණුවක් තමයි අවශ්‍ය.
මම සරලම උදාහරණයක් කියන්නම්. පාරේ වාහන පදවන විධිය බලන්න. දැන් හයිවේ එකේ මිනිස්සු වාහන පදවන්නෙත් අර හයිලෙවල් එකේ යන විධියටමයි. මම කියන්නෙ මේ වගේ දේවල් වෙනස් කරගන්න ඕනා කියලයි. ලෝකයේ දියුණුයි කියලා කියන රටවල දරුවෝ බලන්න. ඒ දරුවෝ තමන්ගේ ද්විතීයික අධ්‍යාපනය අවසන් කරපු ගමන් ස්වයං ඉපැයීම් කරන්න පටන් ගන්නවා.
ඒ අයට ඒකට නිවෙසින් වගේම රට ඇතුළෙත් අවසර තිබෙනවා. ඇතැම් ශිෂ්‍යයෝ ඉගෙනගන්න ගමන්ම රැකියා කරනවා. ඔවුන්ට එහෙම අවස්ථාවක් දෙන්නෙම ඔවුන්ව සමාජයට අනුගත කරන්න, අනුයෝජන කරන්න අවශ්‍ය නිසා. එතකොට ඔවුන් රටේ පවතින සිස්ටම් එකට ක්‍රමිකව හැඩ ගැහෙනවා. විනය හැදෙනවා. ආකල්ප වෙනස් වෙනවා. මම කියන්නෙ අන්න ඒ වගේ දෙයක් ගැන මිසක් හමුදා පුහුණුවක් ගැන නෙවෙයි.
ඔබ දේශපාලනික වශයෙන් නියෝජනය කරන්නේ විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජා.නි.පෙ. මතය?
ඔව්. පැහැදිලිවම මම ඒක බය නැතිව කියනවා.
ජා.නි.පෙ. සහ පොහොට්ටුව අතර යම් සීතල යුද්ධයක් තිබෙන බවක් තමයි අපිට පසුගිය කාලයේ වුණු සිදුවීම්වලින් පේන්නේ?
කවුද කියන්නෙ. කොහෙද ඔය කියන සීතල යුද්දෙ තියෙන්නෙ. ජා.නි.පෙ. කියන්නෙත් පොහොට්ටුවේම හවුල්කාර පාර්ශ්වයක්. මතවාදීව යම් යම් වෙනස්කම් තිබෙන්න පුළුවන්. නමුත් රට ගැන ජනතාව ගැන ගන්න සෑම තීන්දුවකදීම අපි හැමෝම ඉන්නෙ එකම ස්ථාවර මතයක.
ඔබේ නායකයා පසුගිය කාලයේ කරපු යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් පොහොට්ටු පාර්ශ්වයෙන් දැඩි විවේචන එල්ල වුණු බව පෙනුණා?
එතුමා හැමදාම ජනතාවගේ පැත්තේ සිටගත් නායකයෙක්. ඒක තමයි එතුමා ගොඩනඟාගත් දේශපාලන භූමිකාව සහ ප්‍රතිරූපය.
ජා.නි.ප.ය ඇතුළු හවුල්කාර දේශපාලන පක්ෂ 10 එකතුවෙලා ජනාධිපතිතුමාට විශේෂ ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් ඔබේ නායකයාට දැඩි විවේචන සහ චෝදනා එල්ල වුණා. ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මොකක්ද ඔබ දරන මතය?
මගේ නායකයා වන විමල් වීරවංශ ඇමැතිතුමා ඒ ප්‍රකාශ කළේ ඉතාම දූරදර්ශී සහ ප්‍රගතිශීලී අදහසක්. ඒක රටට වැදගත් ප්‍රකාශයක්. මේ රටේ 69 ලක්ෂයක ජනතාව ඔවුන්ගේ ඡන්දය දුන්නේ අපිට නෙවෙයි. ඒ ඡන්දය ප්‍රකාශ කළේ එතුමාට තිබෙන කැමැත්තට. විශේෂයෙන් එතුමා දේශපාලකයෙක් නොවීම සහ විද්වත් වෘත්තිකයෙක් වීම නිසා තමයි බහුතර ජන ආකර්ෂණයක් හිමිවෙන්නෙ.
මෙතැනදී විමල් වීරවංශ ඇමැතිතූමා මතු කළේ ජනාධිපතිතුමාව සක්‍රිය දේශපාලනයට කැඳවා ගැනීම සම්බන්ධයෙන් වූ යම් අදහසක්. ඒක ඇත්තටම දූරදර්ශී යෝජනාවක්. ඒක වරදවා තේරුම් ගැනීම නිසා තමයි බොහෝ අය චෝදනා එල්ල කළේ. ජනාධිපතිතුමා ගම සමඟ පිළිසඳරක් හරහා කරන්න හදන්නෙත් ඒ වැඩේ තමයි.
සෘජුව මේ කටයුත්තට දායක වෙලා සිටින හවුල්කාර දේශපාලන කණ්ඩායම් සමඟ එකතුවෙලා වැඩ කරන්න ඕනා කියන එකයි විමල් වීරවංශ නායකතුමාගේ යෝජනාව වුණේ. ඒකෙ ඇති වරද මොකක්ද කියලා මම ඒ චෝදනා කරපු අයගෙන් පෙරළා ප්‍රශ්න කරනවා.
ඒ සිදුවීමෙන් පසුව සංජීව එදිරිමාන්න සහෝදරයා ඉන්පස්සේ වැඩිය මාත් එක්කත් කතා කළේ නෑ. වෙනදා තරම් මට මුහුණ දුන්නෙත් නැහැ. මම ඔහු සමඟ කතා කළා, මම ඔහුගෙන් ඇහුවා මාත් සමඟ අමනාපද කියලත්. මම ඔහුට කිව්වා මචං අපි දේශපාලන මතවාද වෙනම තියා ගමු. නමුත් අපේ තිබුණු සහෘදත්වය වෙනදා වගේම තියාගමු කියලා.
ජනාධිපතිතුමා එවැනි දේශපාලන ක්‍රියාවලියක නිරත නොවුණහොත් එතැන යම් අඩුවක්, අවාසියක් වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?
මෙහෙමයි. ජනාධිපතිතුමා මොන තරම් වැඩ කළත් එහෙම කරන්නෙ නෑ වගේ පෙනෙන්නේ සහ වැඩ කරන්නේ නැහැ කියලා චෝදනා කරන්නෙ එහෙම අඩුවක් තිබෙන නිසා වෙන්න ඇති.
මමත් විශ්වාස කරනවා එතුමා ගම සමඟ පිළිසඳර කරනවා වගේම රට සමඟත් පිළිසඳරක් කළ යුතුයි කියලා.
එවැනි විවේචන, චෝදනා එල්ල වන විට ඔබට කිසිවිටෙක පසුතැවීමක්, කනගාටුවක් ඇති වෙන්නෙ නැද්ද ජා.නි.පෙ සමඟ එකතු වීම ගැන?
මට කිසිම කනගාටුවට කාරණාවක් නෑ. විමල් ඇමතිතුමා කතාකරන දේවල් ගැන මට සතුටක් මිසක කිසිම අසතුටක් නැහැ. අපි හැමෝම කරන්න ඕන ජනතාවගේ පැත්තෙන් සිටගෙන ඒ මතය නියෝජනය කරන එක. ඒක එතුමා බොහොම නිවැරදිව කරනවා. ඇත්තටම මට ආඩම්බරයි ජනතාවගේ පැත්තෙන් හිතලා වැඩ කරන නායකයෙක් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන.
පොහොට්ටු පාර්ශ්වයෙන් ජා.නි.ප.ය ඇතුළු සෙසු හවුල්කාර පක්ෂවලට වෙනස් කොට සැලකීමක් හෝ නොතකා හැරීමක් සිදුවෙනවාද?
නෑ... එවැනි කිසිම දෙයක් නැහැ. අපි සියලුදෙනාම එකතු වෙලා තමයි මේ ගමන යන්නෙ. මම පෙර සඳහන් ආකාරයට දේශපාලන මතවාදයන් තිබෙන්නට පුළුවන්. ඒකනේ හවුල්කාර පක්ෂ විධියට ඉන්නෙත්. මම කියන්නෙ ඒ හැර වෙන ඝට්ටනයන් නැහැ. ආණ්ඩුවේ සාමාජික පක්ෂ වුණා කියලා හැමෝම එකම දෙයක් කියන්න කරන්න ඕනා කියලා එකක් නැහැනේ. තමන්ට නිදහස තිබෙනවානේ තමන් කැමැති දේශපාලන මතයක් දැරීමට. අනෙක් කාරණය මේ හවුල්කාර පක්ෂ එකතුවෙලා වෙනම ගමනක් යන්න හදනවා නම් විමල් වීරවංශ ඇමැතිතුමා ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුදුසුයි කියලා යෝජනා කරන්නෙ නැහැනේ.
ඔබේ නායකයා පසුගිය දිනෙක පැවැසුවා අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමට සූදානම් තක්කඩින් පිරිසක් ආණ්ඩුවේ සිටින බව. ඔහු මේ පවසන්නේ කවුරුන් ගැනද?
ඔව්. එතුමා එවැනි ප්‍රකාශයක් කරන්නේ එතුමාට ඒ සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරු සහ සාක්ෂි තිබෙන නිසා වෙන්න ඇතිනේ. එතුමා පදනම් විරහිතව දේවල් ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයිනේ. අනෙක කාටවත් ඒකට සිත් රිදවගන්නත් බෑනෙ. මොකද කාවවත් ඉලක්ක කරලා කියලත් නැහැනේ. එහෙම කවුරු හෝ එවැනි බලාපොරොත්තුවක් තබාගෙන වැඩ කරනවා නම් ඒ ගැනත් රටට අනාවරණය වෙයි.
ඔබේ දිස්ත්‍රික්කය තුළ වැඩි වශයෙන් ජීවත් වෙන්නෙ ගොවි ජනතාව. මේ වනවිට ඔවුන්, ජලය පොහොර සහ අස්වනු විකුණා ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ඇතුළේ ඔවුන්ට යම් සහනයක් සැලසෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි, අපේ රටේ බොහොමයක් දිස්ත්‍රික්කවල සිටින ගොවි ජනතාවට බොහොමයක් දුෂ්කරතා තිබෙන බව මම පිළිගන්නවා. මේ වන විට ඔවුන්ට පොහොර ටික දෙන්න, වතුර ටික දෙන්න, අස්වනු ටික සාධාරණ මිලකට විකුණගන්න පුළුවන් වටපිටාව රජයෙන් ගොඩනඟා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ ප්‍රශ්න බොහොමයක්ම වඩාත් හොඳින් ප්‍රායෝගිකව විසඳගන්න අපිට අවස්ථාව ලැබෙයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රමුඛතම ගැටලුවක් තමයි ප්‍රමාණවත් තරම් ජලය නැතිකම. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවාද?
පදවිය වගේ ගම්පළාත්වලට ගියාම ඇඟ සෝදගන්න වතුර ටිකක් නැති මිනිස්සු මට හමුවෙලා තිබෙනවා. දවස් තුන හතරක් ඇඟ නොසෝදපු අහිංසක් මිනිස්සු ඒ ගම්වල සිටියා. නමුත් අපේ දිස්ත්‍රික්කය තුළ මහා පරිමාණ ජලාශ 12ක් තිබෙනවා. මධ්‍ය පරිමාණ වැව් 80ක් සහ කුඩා වැව් 2,334ක් තිබෙනවා.
තව අමුණු 8ක් තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ දළ මාසික වර්ෂාපතනය මි.මී. 125ක් දළ වාර්ෂික උෂ්ණත්වය 26ජ—ක්. මේ තත්ත්වයත් සමඟ ඔවුන්ට අවුරුද්දෙන් වැඩි කාලයක් නියඟයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා වගා කටයුතු කරගන්න ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නෙ නැහැ. මේ තත්ත්වයන් හඳුනාගෙන රජය යහපත් විසඳුම් ලබාදී තිබෙනවා. 2020 වර්ෂයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් විශාල සහ කුඩා ජල සම්පාදන ක්‍රම 22ක් මඟින් බොහෝ ප්‍රශ්න විසඳා තිබෙනවා.
වාසුදේව නානායක්කාර ඇමැතිතුමා ඇත්තටම මේ ප්‍රශ්නය විසඳන්න ඇත්තම හැඟීමෙන් කටයුතු කරන බව පේනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙනුත් මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ඒවාත් කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. ඇත්තටම මම මෙවර අය-වැය විවාදයේදී මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලිමක් කළා. මේවනවිට ඒවා විසඳෙමින් පවතින බව පෙනෙන්නට තිබිම සතුටක්.
ඔබව දිනවලා පාර්ලිමේන්තු යැව්වෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව. ඔබ මේ වන විට ඔවුන්ගේ සැබෑ ගැටලු මොනවාද කියලා හඳුනාගෙන තිබෙනවාද? ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පියවරක් තබා තිබෙනවාද?
මගේ දේශපාලනය හැමදාමත් තිබුණේ මහපොළොවත් එක්ක තමයි. ඒ නිසා මට ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න ගැන අවබෝධයක් තිබෙනවා. ගැටලුවක් තිබෙන සෑම තැනකටම ගොස් මම ඒ දේවල් නිරීක්ෂණය කරලා ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ මගේ මට්ටමින් කරනවා.
මම නිරන්තරයෙන් ප්‍රමුඛත්වය දෙන්නේ අපේ දරු පරම්පරාවට සහ ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. හොඳම දේ දරුවාට කියන සංකල්පයේ තමයි මම වැඩ කරන්නෙ. මගේ දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ කරන පාසල් 48ක දරුවන්ට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීම සඳහා වැඩමුළු ගණනාවක්ම පැවැත්වූවා. එතැන ළමයින් 1800ක් පමණ සිටියා. ඒ කර්තව්‍යය ඒ දරුවෝ බොහොම ආදරයෙන් වැලඳගත්තා.
අනුරාධපුරය කිව්වම බොහොමයක් දෙනා අපේ මිනිස්සු ගැන සිතන විධියක් තිබෙනවානේ. ඒක වෙනස් කරන්න නම් අපේ දරුවෝ හොඳට අධ්‍යාපනය ලබන්න ඕනෑ වගේම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න ඕනෑ. මම ඒ දරුවන්ට කිව්වේ විදේශ ගමන් බලපත්‍රයක් නිරතුරුව පරිහරණය කරන උගත් පුරවැසියෙක් වෙන්න කියන එකයි.
නවක මන්ත්‍රිවරයෙක් විධියට ඔබේ යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමාගෙන් අවස්ථාවක් ලැබෙනවාද? ඇත්තටම කොහොමද එතුමා අලුත් මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර?
අලුත්ද පරණද කියලා නැහැ. එතුමාව හමුවෙන්න අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. එතුමා අලුත් විධියට ලෝකය දකින වෙනස් සිතුම් පැතුම් තිබෙන ඉදිරිගාමී නායකයෙක්. ආසන්නම දිනයක සිදුවුණු දෙයක් මම කියන්නම්. මට මේ ළඟදී එතුමාව හමුවෙන්න පැය භාගයක අවස්ථාවක් ලැබුණා. නමුත් එතුමා පැයකට ආසන්න කාලයක් මාත් සමඟ සාකච්ඡා කළා.
එහිදී කෘෂිකර්මාන්තය ගැන වෙනස් ආකාරයක රියැලිටි, රූපවාහිනි වැඩසටහනක් ගැන අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඇත්තටම ඒ සම්බන්ධයෙන් විශාල උදේයාගයකින්, උනන්දුවකින් කරුණු සාකච්ඡා කළා. ඉදිරියේදී ඒ කටයුත්ත අපිට ප්‍රායෝගිකව කරන්න අවස්ථාව හිමිෙ වයි.
අරුණි මල්ලවආරච්චි
ඡායාරූප - අමිත තෙන්නකෝන්
මව්බිම