වහා ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණියා. ඒ වන විටත් පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට දැල එලුවා.
සැකකරුගේ ජංගම දුරකථනය සොයා ගත්තද ඒ වන විටත් එය ක්‍රියා විරහිත කර තිබුණා. සැකකරු දික්වෙල ඔයෙන් පැන කොච්චිකඩේ පැත්තට ගිය බවට තොරතුරක් එන්නේ ඒ අතරයි. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ එහි ගියා.
වැටලීම සාර්ථක වුණා. මත්වතුරින් සප්පායම් වී වැනෙන තරමට වෙරි වී සිටි මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ ඝාතනය සිදුවී පැයක් ඉක්මවා යාමටත් පෙරයි.
"ඔව්.. මම ඒ මිනිහා මැරුවා තමයි. එළියට ආපු ගමන් මම අරුන් දෙන්නවයි මගේ ගෑනිවයි, මරන එක මරනවාමයි.. මූව (පොලිසිය දිව විත් මේ සිද්ධිය සැල කළ තරුණයා දෙසට අත දික් කරමින්) මම මරන එක මරණවාමයි.."
තොරතුරු අනුව ඝාතනය වන්නේ මල්වා හන්දිගේ විජේරත්න සිල්වා නම් වූ හැට පස් හැවිරිදි තිදරු පියෙක්. බිරිය මිය ගොස් ඇති අතර මොහු මොම තෙල්මොලේ රැකියාව කරමින් ජීවත් වූයේ මුණු බුරකු සමඟයි. දහ නව හැවිරිදි මේ දරුවා විජේරත්නගේ වැඩිමල් දියණියගේ පුත්‍රයා යි. ඇය සැමියාත් දරුවත් හැර දමා වෙනත් දීගයක ගොස් සිටින අතර දරුවාගේ පියා ද වෙනත් කාන්තාවක් කැන්දාගෙන විත් ජීවත් වන්නේ ද මේ ලැයිමේම විජේරත්නගේ නිවසට ආසන්නවයි.
ඔහු හෝ පැන ගිය මව හෝ මේ තරුණ දරුවා ගැන කිසිදු සොයා බැලීමක් නොකරන අතර දරුවාගේ සියලු වගකීම් විජේරත්න ගෙන තිබුණා.
මුණුබුරා බෙහෙවින් ආදරය කළ විජේතරත්න අහිංසක දුප්පතකු වුණා. පසුව මුණුපුරාද රැකියාවක් සොයා ගත්තා. ඔහු රැකියාව කළේ තෙල් මෝලේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි යකඩ වැඩ පොළකයි.
විජේරත්නගේ බාල දුව විවාහ වී සිටියේ සමීර දිමුක්ත යන අය සමඟයි. මේ යුවළට දරුවන් තිදෙනෙකු සිටියා. අවුරුදු 12, 09, 07 යන වයස්වල ඔවුන් පසුවුණා. තිස් දෙහැවිරිදි මොහුට ස්ථිර රැකියාවක් නොවූ නමුත් මත් කුඩුවලට තදින්ම ඇබ්බැහි වූවෙකු වුණා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මොහු බන්ධනාගාර ගත කර තිබුණු අතර ඇතුළේ සිටියදී සිය බිරියගේ අනියම් ඇසුරක් ගැන ඔහුට දැනගන්නට ලැබුණා. ඇය මෙසේ සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ සමීර දිමුක්තගේ නැගණියගේ සැමියා සමඟයි.
මොහු ඇප මත එළියට එන්නේ මීට සති දෙකකට පෙරයි. එසේ පැමිණීමෙන් අනතුරුව නිවසට එන්නේ සති දෙකක් නිරෝධායනය වීමෙන් පසුවයි.
එසේ පැමිණි සමීර බරිය සමඟ බහින්බස් වෙමින් ඇය පවත්වාගෙන යන අනියම් ඇසුර ගැන විමසුවා.
"උඹ කුඩු ගහන එකෙක්. මට උඹ එපා. මට උඹ එක්ක ජීවත් වෙන්න බෑ.." ලෙස ඇය පැවසුවා.
ගැටුම් මැද රාත්‍රීය ගෙවී පසුදාට පහන් වුණා. නින්දෙන් පිබිදුන සමීර දුටුවේ සිය බිරිය සහ දරුවන් තිදෙනා නිවසේ නැති බවයි.
ඉන් කැළඹෙන සමීර බිරිය සොයන්නට වූ අතර බිරිය පෙම්වතා සමඟ පැනගොස් ඇති බව ආරංචි වුණා.
එම ආරංචිය ලැබීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වන සමීර සිය පාපැදියෙන් කොච්චිකඩේ ප්‍රදේශයට යන්නේ බිරිඳ හා දරුවන් සොයා ගැනීමේ අරමුණින්.
අතේ සතේ නැහැ. දවස පුරා මහන්සි නිසා දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට වුණා. එයට හොඳම පිළියම වන්නේ හෙරෙයින්. සල්ලි නැති නිසා කසිප්පු පොට් එකකට ගිය ඔහු පදම් වී කෙළින්ම ගියේ මාමණ්ඩිය හමුවීමටයි.
"මම මාමණ්ඩිගේ ගේ ළඟට ගිහින් කෝ මගේ ගෑනි, උඹේ දූ කියලා ඇහුවා. එහෙම අහද්දි මාමණ්ඩි කිව්වා, මම දන්නේ නැහැ, උඹම හොයා ගනින් කියලා. ඒකට මට හොඳටම තරහා ගියා. ඊට පස්සේ තමයි මම මාමණ්ඩිට ගල් වලින් ගැහුවේ.."
විජේරත්නට එල්ල කළ පළවැනි ගඩොල් පහරින්ම ඔහු වැටුණා. ඒ සමඟම මාමණ්ඩිගේ හිසට ඔහු පහර පිට පහර දෙන්නේ දැඩි වෛරයකිනුයි.
අනතුරුව විජේරත්නගේ දුරකථනය ගත් සමීර, මුල්ම ඇමතුම ගන්නේ විජේරත්නගේ මුණුපුරාටයි.
"මම උඹේ සීයව මැරුවා. උඹයි, උඹේ මස්සිනයි තමයි මගේ ගෑනිව හංඟගෙන ඉන්නේ. මම තොපි දෙන්නවත් මරලා තමයි මේක ඉවරයක් කරගන්නේ.."
අනතුරව ඔහු බිරිඳටද ඇමතුමක් ගත් අතර, "මම උඹේ තාත්තව මැරුවා" ලෙස පැවසුවා.
මාමා ගේ ඇමතුමෙන් කලබල වූ මුණුපුරා වැඩපොළේ සිට වහා පැමිණියා.
ඔහු සීයාව රැගෙන දංකොටුව රෝහලට ගෙන ගියත්, ඒ වන විටත් ඔහු මිය ගොස් සිටියා.
විජේරත්න ඝාතනය කරන අවස්ථාවේ විජේරත්නගේ දියණියගේ පළමු විවාහයේ සැමියා, එනම් මුණුපුරාගේ පියා ඒ අසළ නිවසේ සිට ඇතත් ඔවුන් එළියට වත් පැමිණ තිබුණේ නැහැ.
විජේතරන්නේ දේහය බාර ගත්තේ තවත් දියණියකයි. ඇය දේහය මාරවිල සුසාන භූමියේදී මිහිදන් කළේ අධිකරණ නියෝග වලට යටත්වයි.
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.