තමන් පොලිස් නිලධාරියෙකු බව පවසා මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී යුවළකගේ පෞද්ගලික දර්ශන දුරකථනයෙන් වීඩියෝ කළ බවට පවසමින් ඔවුන්ගෙන් රුපියල් දෙලක්ෂ විසිදෙදහසක කප්පම් ඉල්ලූ බව කියන බ්‍රෝකර්වරයෙක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට පේරාදෙණිය පොලිසිය සඳහන් කරනවා.
මෙම යුවළ පේරාදෙණිය, ගන්නෝරුව, මුරුතලාව ප්‍රදේශයේ වෑන් රථයක සිටියදී අදාල බ්‍රෝකර්වරයා එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර මෙම අනියම් යුවළ සිටි වෑන් රථය අසලට පැමිණි ඔහු තමා පොලිස් නිලධාරියෙක් යැයි බව පවසා ඔවුන්ගේ දර්ශන රූගත කළ බවත් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් ලක්ෂ තුනක මුදලක් අවශ්‍ය බවත් පවසා ඇත.
ප්‍රසිද්ධ ස්ථානය අසැබි අයුරින් හැසිරීම වරදක් බවත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි ඇති බවත් පැවසූ අදාල පුද්ගලයා පැමිණි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතා මෙලෙස කප්පම් මුදලක් ඉල්ලා ඇත.
එම මුදලින් කොටසක් ඉහත කී බ්‍රෝකර්වරයාට ඒ මොහොතේ ලබාදී ඉතිරි මුදල් පසුදින ලබාදීමට එකඟවූ යුවළ පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇත. මේ තොරතුරත් සමඟ ක්‍රියාත්මක වූ රහස් පොලිසිය සිවිල් ඇඳුමින් සැරසී මුදල් හුවමාරු කරගන්නා ස්ථානයට ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.
විස්තරය - චමිල් රූපසිංහ