ලොව ප්‍රධාන පෙළේ විලාසිතා නිර්මාණකරුවකු වන Peter Nygard දශක ගණනාවක් තිස්සේ කාන්තාවන් හා බාල වයස්කාර දැරියන් දහස් ගණනකට ලිංගික අපචාර සිදු කිරීම හා එවැනි කටයුතු වලට යෙදවීම, ලිංගික ජාවාරම් කටයුතු ආදී චෝදනා රැසක් මත කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
79 හැවිරිදි පීටර් නිගාර්ඞ් හට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් වන අතර කැනඩාව විසින් මොහු ඇමරිකාවට භාරදීමට නියමිතයි. මොහු විසින් ඇමරිකාව, බහමාස්, කැනඩාව හා රටවල් රැසක මෙම ලිංගික ජාවාරම දශක ගණනාවක් තිස්සේ කර ගෙන ගොස් ඇති බවත් සඳහන්.
මොහු විසින් සිය විලාසිතා නිර්මාණ සමාගම සඳහාත් සහ එවැනි විලාසිතා ප්‍රදර්ශන සඳහා මෝස්තර නිරූපිකාවන් ලෙස බඳවාගත් කාන්තාවන් හා තරුණියන් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා. එසේම එම තරුණියන් බලහත්කාරයෙන් මොහුගේ මිතුරන්ට හා ව්‍යාපාරික සහකරුවන්ට ද ලිංගික කටයුතු සඳහා ලබාදී ඇති බව හෙළිව ඇති බවත් සඳහන්. මෙම ක්‍රියාවන් සඳහා යොදා ගෙන ඇති ඇතැම් තරුණියන් වයස අවුරුදු 18 ට වඩා අඩු බාලවයස්කාරියන්ය. මෙම ඇතැම් තරුණියන්ට තර්ජනය කිරීම්, ව්‍යාජ පොරොන්දු, නිරූපන අවස්ථා ලබා දෙන බවට පොරොන්දු, මුදල් ලබා දෙන බවට පොරොන්දු ආදිය ලබාදී මෙම ලිංගික බලහත්කාරකම් සිදු කර ඇති බවටයි පැවසෙන්නේ. ඇතැම් දුප්පත් තරුණියන් මෙන්ම කලින් ලිංගික අපයෝජනයට ලක්වූ තරුණියන් වැඩි වශයෙන් මොහුට ගොදුරුවී තිබෙනවා. මෙම තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවටත් ඇතැමුන් සිරකරගෙන සිටි බවටත් හෙළිවී තිබෙනවා. කැලිෆෝර්නියාවේ හා බහමාස් හි මොහුට අයත් මන්දිරවල මේ බොහෝ අපචාර සිදුවීඇති බවත් ඇතැම් අවස්ථාවල මොහු විසින් නව තරුණියන් තමන් වෙත ගෙන්වා ගැනීමට තමන්ගෙන් අපහරණය වූ කාන්තාවන් යොදවා ගෙන ඇතැයිද හෙළිව තිබෙනවා.