මේ අතර කයිට්ස්හි දී පාසල් සිසුවියක දූෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟ උතුරු ප්‍රදේශය තුළ ඇති වූ සිදුවීම් ජාලය සම්බන්ධ සියලු තොරතුරු නිවැරැදිව හෙළි කර ගැනීමට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විශේෂ පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ පැවැත්වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාස සහ පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් එම පරීක්ෂණ පවත්වනු ලබන බව පොලිස් මුලස්ථානය පවසනවා.
සිසුවිය ඝාතනය පිටුපස ඇති අභිරහස සොයා ගැනීම රහස් පොලිස් පරීක්ෂණවලින් සිදුවන අතර යාපනයේ ඇති වූ උද්ඝෝෂණය සහ රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරනු ලබනවා.
පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිදුකෙරෙන්නේ ඉහත සිදුවීම් දෙක සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය සෙවීමයි.
පොලිසිය ප්‍රදේශවලට හරිහැටි ආරක්ෂාවක් දුන්නාද, අදාළ ඝාතනය සම්බන්ධව ගත යුතු සියලු පියවර ගත්ත ද, ඔවුන් නොසැලකිලිමත් ලෙස කටයුතු කළා ද යන්න මෙහිදී සොයා බලන බවයි වාර්තා වන්නේ.
එම පළාතේ පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය දැනටමත් අදාළ රාජකාරී කටයුතු ඉෂ්ට කළ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටින අතර ඊට අමතරව එම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශනයක් ලබා ගැනීමට නියමිතයි.
දැනට තරුණ සිසුවියගේ ඝාතනය සිදුකළ පිරිස එය පළිගැනීමක් මත සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇතත් ඒ පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබුණා ද යන්න ද මෙහිදී සොයා බැලෙනවා.