පසුගිය දා ඇතිවූ භූකම්පනයෙන් පසුව පීඩාවට පත්ව සිටින නේපාල කාන්තාවන් ලිංගික වෘත්තියේ යෙදවීම සඳහා විවිධ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවන් පෙන්වා දෙන්නේ භූකම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට පැමිණි සහන කණ්ඩායම්වල මුවාවෙන් මෙම පිරිස් කාන්තාවන් සොයා ගම්මානවලට පැමිණෙන බවයි.
එහිදී ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවක් ලබා දෙන බව පවසා ඉන්දීය දේශ සීමාවට මෙම කාන්තාවන්ව රැගෙන යන ඔවුන් එහිදී වැඩි රූප සොබාවයකින් යුතු කාන්තාවන් සහ අනෙකුත් අය වශයෙන් වර්ග කරන බවයි පැවසෙන්නේ.
ඉහළ රූප සොබාවයකින් යුතු කාන්තාවන් මැදපෙරදිග, යුරෝපය, දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලට පිටත්කර හරින අතර ඉතිරි පිරිස ඉන්දියාව තුළ ගණිකාවන් ලෙස සේවයේ යොදවනවා.
භූමිකම්පාවට පෙර, වසරකට නේපාලයේ කාන්තාවන් 12000ක් සහ 15000ක් අතර පිරිසක් ලිංගික කටයුතු සඳහා විදෙස් රටවලට රැගෙන යන බවයි පැවසෙන්නේ. මේ පිළිබඳව අදහස් දැක්වූ ගොදුරක් බවට පත්වූ කාන්තාවක් සඳහන් කරන්නේ විසිවන වියේ පසුවූ තමන්ව ඉන්දීය දේශසීමාවට ගෙන ගොස් ගණිකාවක් ලෙස විකුණූ බව සහ සිය දෙනෙකු පමණ තමන් සමඟ ලිංගික ඇසුර පැවැත්වූ බවයි.
දේශීය සාරියෙන් සැරසීගෙන විහාරස්ථාන හා දේවාල වෙත බැතියෙන් යන නේපාල කාන්තාවන් එරට පවිත්‍රත්වයේ සංකේතය ලෙසයි සැලකෙන්නේ.