අප්‍රේල් 8 වන දා ඇරඹෙන IPL තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවයි.
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය. පසුව කළ පරීක්ෂණවලින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කරන ලදී.
නමුත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීමට නම් තවත් පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දීමක් කොට ඇති බවට වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය දැඩි විරෝධයක් ප්‍රකාශ කොට ඇත.
මෙවර IPL තරගාවලිය සඳහා සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුනහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට ඔවුන් අනතුරු අඟවා ඇත.