ඉන්දීය රෝ රහස් ඔත්තු සේවාව සී.අයි.ඒ සහ එම්.අයි.සික්ස් යන බටහිර ඔත්තු සේවාවන් සමඟ එක්ව තමාට එරෙහිව විපක්ෂය සංවිධාන කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනාවක් එල්ල කළා.
කෙසේ නමුත්, හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩු පෙරළිය සඳහා රෝ සම්බන්ධතාවට නරේන්ද්‍ර මෝදිගේ වත්මන් ඉන්දීය රජය වගකිව යුතු නොවන බවයි. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඉවත් කිරීමට තමා කටයුතු කළේ ඒ හේතුව නිසා බව ද ඔහු කියා සිටියා. එහෙත්, ඒ වනවිට කුමන්ත්‍රණය වැළැක්වීමට ප්‍රමාද වැඩි වූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය පුවත්පතකට ලබා දුන් ප්‍රථම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ තම පාලනය බිඳ දැමීමට රෝ සංවිධානය සැලසුම් කළේ බොහෝකලක සිට බවයි. වත්මන් ඉන්දීය අගමැති මෝදිගේ රජය බිහිවුණේ පසුගිය වසරේදීයි. එහෙත්, ඊට පෙර සිට රෝ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වත්මන් සංචාරයේදී හමුවීමට තමා අදහස් කරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හින්දු පුවත්පත වෙත සනාථ කළා. තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවක් කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බව කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් තමා විවේකයක් ගනිමින් සිටින බව කියා සිටියා.