තිස්සමහාරාම සදුන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය භාර ග්‍රාම නිලධාරිනිය සිය කාර්යාලයෙහි සේවය කරමින් සිටියදී ඇයගේ සැමියා වන යුද හමුදාවෙන් පැන ආ සෙබළකු විසින් පිහියකින් ඇන මරා දමා ඇති අතර රැකවරණයට සිටි ඇයගේ මවටද පිහියෙන් ඇන මරා දමා තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම වීරවිල අංක 100/1ඒ යන ස්ථානයේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි දෙදරු මවකවූ තේනාහැන්නදිගේ නදීකා ලක්මාලි නමැති ග්‍රාම නිලධාරිනිය හා ගිංතොට සාරුක්කාර පටබැඳිගේ කුමුදුනි මල්කාන්ති නමැති පනස් හතර හැවිරිදි ග්‍රාම නිලධාරිනියගේ මවයි.
කාලාන්තරයක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකළ මියගිය ග්‍රාම නිලධාරිනියගේ සැමියා වන මහමරක්කලගේ ශෂිපැතුම් නමැති සැකකරු තිස්සමහාරාම පොලිසියට භාර වී තිබෙන බවත් සදහන්.
මීට මාස දෙකකට පමණ පෙර මෙම සැකකරු විසින්ම පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරිපිටදී වීරවිල ප්‍රදේශයේදී මෙම ග්‍රාම නිලධාරිනි බිරිඳට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කර තිබෙන අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබා තරමක් සුවය ලැබීමෙන් පසු නැවත රාජකාරි කටයුතුවල නිරත වී ඇති බවත් සදහන්. ඇය රාජකාරියට පැමිණෙන සෑම අවස්ථාවකදීම මවද ඇයගේ රැකවරණයට පැමිණෙන අතර ඇය ඝාතනයට ලක්වන්නේ එම අවස්ථාවේදීයි.
තිස්සමහාරාම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි ජයශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනෝජ් ධම්මික කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස් පරීක්‍ෂක චින්තක වික්‍රමරත්න හා අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක මල්දෙනිය මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වෙයි.