ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ සොහොයුරා වූ දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුම්රියකට පැන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. ඉකුත් 05 වනදා උදෑසන වාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන ඔහු එසේ සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මිය යන විට 73 වැනි වියේ පසුවූ මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිට ඇති අතර ඔහුගේ වකුගඩු දෙකම නරක් වීම හේතුවෙන් අධික ශාරීරික පීඩාවකින් පෙළීම නිසා කලකිරීමට පත්ව සිටි බව ඔහුගේ සොහොයුරිය වූ ශිරානි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
වසර තුනක පමණ කාලයක සිට වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ඒ මහතා මිය යෑමට සතියකට පෙර සිය නැඟණිය වූ ශිරානි මහත්මියට ඔහු සතුව ඇති සියලු දේපළවලට හිමිකම පවරා දී ඇති අතර ඔහුට හිමිව තිබූ මෝටර් රථයද ඇගේ නමට පවරා දී තිබෙනවා.
මෙලෙස කිරීමට හේතුව විමසූ විට “මගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස නෑ. වකුගඩු බද්ධ කිරීමටත් දැන් බැහැ. එනිසා මේවා එකලස් කර තැබීම මගේ යුතුකමක්“ යැයි ඔහු පැවසූ බව ශිරානි මහත්මිය පවසනවා.
සියදිවි හානිකර ගැනීමට පෙර සිය කලිසම් සාක්කුව තුළ පාරමිතා වැඩිහිටි නිවාසය භාර ස්වාමීන් වහන්සේගේ නම සහ දුරකථන අංකය දමාගෙන සිට ඇති අතර නිවෙසේ ලිපිනය, ඔහුගේ නිදන කාමරයේ කොට්ටය යට තිබියදී සොයාගෙන තිබෙනවා.
දුම්රිය අනතුරින් මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ දේහය අනතුරට පත් දුම්රියෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර ශිරානි මල්ලිකා ප්‍රනාන්දු නැඟණිය පැමිණ සහෝදරයාගේ සිරුර හඳුනාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මොළයට, උදරයට, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.
මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව ශෝක වන්නන් අතර කැලණිය වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ භාරකාර කොස්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම මරණය සමස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ටම දරාගත නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවත් නිවාසයේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් මෙම වෛද්‍යවරයා රෝගීන් වෙත ගොස් කාරුණිකව ප්‍රතිකාර කරමින් රෝහල් වෙතද යොමු කළ බවත්ය.
පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති මළ සිරුර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසුව අවසන් ගෞරව දැක්වීමට පිණිස බොරැල්ල ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 07 වැනිදා (අද) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.