ශ්‍රියාණි අමරසේන කියන ප්‍රවීන නිළිය දශක කිහිපයක් තිස්සේ පුංචි තිරයට වගේම රිදී තිරයට විවිධ ප්‍රේක්ෂකයින් හමුවට ආ ආදරණිය චරිතයක්. අදටත් ඇයට ආදරේ කරන අය බොහොමයි. විවිධ චරිත එක්ක ප්‍රේක්ෂකයින් හමුවට එන ශ්‍රියාණි අමරසේනයන්ගේ ගැටිස්සි කාලේ ගැනයි මේ.
* ගැටිස්සි කාලෙ
බොහොම දඟකාර චරිතයක්. හෙමින් ගමනක් තිබුණෙම නෑ. දුවනවා පනිනවා දඟලනවා. පවුලේ එකම දරුවා නිසා අම්මගෙ තාත්තගෙ හුරතලෙත් එක්ක මම ගෙදර රජ කරගෙන හිටියෙ. පවුලේ නැදෑයෝ මාව දැක්ක ගමන් කියනවා මේකිට පුදුම දාංගලයක් තියෙන්නෙ කොල්ලෙක් වගේනෙ හැදෙන්නෙ කියලා. මගේ ගමත් මීතොටමුල්ලනෙ. හරි ලස්සන පරිසරයක ජීවත් වුණේ. වැඩිපුර පිරිමි ළමයි කරන සෙල්ලම් තමා කළෙත්. බෝල ගහන්න” සරුංගල් අරින්න පුදුම කැමැත්තක් තිබුණේ.
* පාසල් අධ්‍යාපනය
මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මියුසියස් විද්‍යාලයේ. ඉහළ පන්තිවලදී ගෝතමී විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා. චිත්‍ර” නැටුම්” සංගීතය කියන විෂයයන් තුනේදී මම මේ පාසල් දෙකේම කැපිලා පේන චරිතයක් වුණා. ඔය විෂයයන්වලට මම හැමදාමත් ඉහළ ලකුණු ලබා ගත්තු කෙනෙක්.
* ඇසුරු කරපු යෙහෙළියෝ
නන්දනී” රූපාංජලී” සුජාතා විමලධර්ම තමයි ළඟින්ම ඇසුරු කළේ. සුජාතා විමලධර්ම ඔරලෝසු අධිපතිතුමාගේ දුව. අපි ඉතින් එයා එද්දි කියනවා ඔන්න ඔරලෝසු කාරයාගේ දුව එනවා කියලා. නන්දනී ගුරුවරියක් විදියට සේවය කළා. අදටත් මගේ රඟපෑම්වල හොඳ නරක කියලා මට කතා කරනවා. අපි තාමත් යාළුවො.
* කල්ලි ගැහැනු තැන්
ඒ කාලේ ඇත්තටම අපිට කල්ලි ගැහෙන්න වෙනම තැන් තිබුණේ නෑ. මොකද අපි ටියුෂන් ගියේ නෑනෙ. ඉස්කෝලෙදීම තමයි අපි ෆී‍්‍ර පීරියඞ්වල හමුවෙලා අපේ යාළුකම් පවත්වාගෙන යන්නෙ. පිට තියෙන පුස්තකාලයකටවත් අපි ගියේ නෑ. ඉස්කෝලෙ පුස්තකාලෙ තමයි අපි පාවිච්චි කළේ.
* කරපු දඟ වැඩ
වැස්ස කාලෙට වෙල්වල වතුර පිරෙනවා. අප හරි ආසයි ඒවා බලන්න යන්න. ඒත් ගෙවල්වලින් අවසර ලැබෙන්නෙ නෑනෙ වතුරට යන්න. ඉස්කෝලෙ ආව ගියේ තවත් ළමයි කීප දෙනෙක් එක්ක ටැක්සියකින්. මම තමයි ඒකෙ නායිකාව වගේ වැඩ කළේ. අපිට රියැදුරාට බල කරා අපි වතුර පෙන්නන්න එක්ක යන්න කියලා. එහෙම යද්දි එක තැනකදී ටැක්සිය රිවස් කරපු වෙලාවෙ බෝක්කුවක් කඩාගෙන ගිහින් වාහනේ පහළට පෙරළුණා. වතුර බලන්න ඇවිත් හිටපු කට්ටිය තමයි දොරවල් ඇරලා අපිව එළියට ගත්තෙ. ගෙදරට එක්ක ගියාම අම්මා මේ මොකද වුණේ කියලා කෑගහගෙන ඇවිත් මාව අරන් නාවලා ගෙට ගත්තා. මගේ දඟ නිසා තමයි ඔය සිද්ධිය සිදු වුණේ.
* කරපු හොඳ වැඩ
එදා ඉඳලම අසරණ අයට පිහිට වෙන එක මගේ පුරුද්දක්. නැහැ බැහැ කියාගෙන කවුරු ආවත් මට තියෙන උපරිමයෙන් දෙන්න ඕන. කවදාවත් කන්න බැරි දෙයක්” අඳින්න බැරි ඇඳුමක් මම අසරණ කෙනකුට දෙන්නෙ නෑ. මගේ ගොඩක් හොඳ තත්ත්වයේ තියෙන ඇඳුම් මම පරිත්‍යාග කරනවා. ඒවා ගන්නත් කීප දෙනෙක් දැන් පුරුදු වෙලා ඉන්නවා. ඒ අතරෙ මගේ දුවයි ලේළියත් මාත් එක්ක මේ පිනට දායක වෙලා ඉන්නවා.
* පටබැඳි නම්
නම ශ්‍රියානි නිසා අපිත් එක්ක එකටම ආශ්‍රය කරගෙන හිටපු කොල්ලො දෙතුන් දෙනෙක් සිරියානි බුරියානි කරියානි දෙරියානි කියලා මට කියනවා. මට ඒක අදාළ නැති වුණාට ඒ දවස්වල මට ඕක කිව්වම මරා ගන්න යනවා. කේන්ති ගත්තම ඒ ගොල්ලො ඒක වැඩියෙන් කිව්වා.
* අහපු කයි කතන්දර
මම තනියම නිසා ගෙදර හිටියෙ මට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් අපේ ඥාතියෙක් අපේ ගෙදර නතර කරගෙන ඉස්කෝලෙ යැව්වා. එයා නෑකමට මට පුංචි කෙනෙක් වෙන්නෙ. මම හරියට එයාට නපුරු වැඩ කරා කියලා එයා අනිත් හැමෝටම කියලා මාව හරි නපුරු චරිතයක් විදියට නෑයෝ හැමෝම කතා බහට ලක් කළා.
* පිරිමි ළමයින්ගේ ආශ්‍රය
ගෙවල් අහල පහල පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරාට ඒ අයත් එක්ක වැඩි ආශ්‍රයක් තිබුණේ නෑ.
* කරපු විලාසිතා
ලස්සන ගවුමක් දැක්කොත් ඒක අම්මට පෙන්නලා ඒ විදියෙ ඒවා මම ඉල්ලනවා. අම්මට හොඳට මහන්න පුළුවන්. මට ඒ විදියටම මහලා දෙනවා. රෙදි ගේන වෙළෙන්දො ඒ කාලේ ගෙවල්වලට එනවානෙ. ඉතින් අපිට නිතරම වැඩිපුර රෙදි අරන් තියනවා. ගවුමක් මැහුවට පස්සෙ ඒක ඇඳගෙන කොහේ හරි යනකම් මට ඉස්පාසුවක් නෑ.
* තිබුණ බලාපොරොත්තු
නර්ස් කෙනෙක් වෙන්න මම ආශාවෙන් හිටියෙ. දිල් අජනා ඔර් ප්‍රිති පරාසේ ෆිල්ම් එකේ මීනා කුමාරි නර්ස් කෙනෙක් විදියට රඟපානවා දැකලා ඒ ආශාව තවත් වැඩි වුණා. ඒක ඉටු වුණේ නැති බලාපොරොත්තුවක්නෙ.
* දුක හිතුන අවස්ථා
මම හරිම කැමැතියි ඒ කාලේ සත්තු ඇති කරන්න. බල්ලො” පූසෝ ගොඩක් ඇති කරා. ඒ වගේම ලේන්නු කූඩුවල දාගෙන උන්ට කන්න බොන්න දෙන්න ආදරෙන් කතා කරන්න පුරුදු වෙලා හිටියා. දවසක් ඒ විදියට හිටපු ලේනෙක් කූඩුවෙන් පැනලා ගිහින් මම හරියට දුක් වුණා. හොඳටම ඇඬුවා පස්සෙ අපේ ඥාතියෙක් මට තේරුම් කරලා දුන්න ඒ සතා නිදහස හොයාගන ගිහින් තියෙන්නෙ සත්තු කූඩුවල දාන එක පව් කියලා මම ඒක තේරුම් ගත්තා.
* සැබෑ නොවුණ හීන
කිසිම දෙයක් ගැන මම ලොකුවට හීන මවපු කෙනෙක් නෙමෙයි. දෙවියන්ගේ පිහිටෙන් මට අවශ්‍ය හැමදේම මගේ ජීවිතේට ලැබුණා.
* අමතක නොවන සිදුවීම්
ඉස්කෝලෙන් නුවර චාරිකාවක් සංවිධානය කරලා තිබුණා. එදා උදේ 6 ට අපිට ගේට්ටුව ගාවට එන්න කියලා තිබුණට මටයි තව යාළුවො දෙන්නෙකුටයි එන්න බස් නැතුව අපි ආවේ 6.30 ට. අපිව දාලා බස් එක ගිහින්. අපි ආපු ටැක්සියේ රියැදුරුට කිව්වා අනේ කොහොම හරි බස් එක අල්ලලා දෙන්න කියලා. හරි හොඳ මනුස්සයෙක් අපිව එක්ක ආවා. බස් එක හම්බ වුණේ ගම්පහට කිට්ටුවදී. අප නැග්ගා. ටිචර් කෙනෙක් දොස් කිව්වා ඇයි එහෙම ආවේ කියලා. අපි කිව්වා අපට පැය 1/2 ක් බලන්න බැරි වුණ නිසානෙ මෙහෙම එන්න වුණේ කියලා. ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ධම්මික හේවාවසම්