ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය ඊයේ(22) පැවැත්වුනේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුනා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202ක් රැස්කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් දඹුල්ල කණ්ඩායම් ඔසවා තැබූ අශාන් ප්‍රියන්ජන් ලකුණු 108 ක් රැස්කළේ පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමඟින්. පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් දවාගැනීමට සමත්වුනා.
මෙම තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙතයි. කෙසේ වෙතත් එහිදී ප්‍රථම පන්දුවාරයේම කඩුලු දඩයමේ ගිය මාලිංගට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුවූවා.
ඒ රමිත රඹුක්වැල්ලගේ පා ආවරණයේ වැදුණු පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහු දැවී යාමට තරම් වුවත් එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් මාලිංග ඉල්ලීම සිදුකරද්දී විණිසුරු එය නිපන්දුවක් බවට සංඥා කිරීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා. අවසානයේ කඩුලු පිපාසයට එක් කඩුල්ලකින් පමණක් සෑහීමට පත්වීමට මාලිංගට සිදුවූවා.