සාගරයේ ජීවත්වන ලොකු කුඩා සතුන් අතරින් නිල් තල්මසා සාගරයේ පැවැත්මට අත්‍යවශ්‍යම සත්ත්වයෙක්.
නිල් තල්මසුන් පිළිබඳ මිනිසුන්ගේ මෙන්ම නිසි බලධාරීන්ගේ ද උනන්දුව අඩු බවයි පේන්න තියෙන්නේ.
එසේ වුවත් මේ සත්ත්වයාගේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙන දිරිය කාන්තාවක් පිළිබඳ අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
ඇය නමින් ආචාර්ය ආශා ඩී වොස්. සාගර ජිව විද්‍යාඥවරියක් ලෙස වැඩ කරන ඇය ලෝකයේම නමක් දිනාගෙන ඇත්තේ නිල් තල්මසුන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුකරන කැපකිරීම නිසා. එසේම ආඩම්බරයට කරුණක්ද වන්නේ ඇය ශ්‍රී ලාංකිකයෙකු වීමයි.
ඇය කුඩා කාලයේ පටන් නිල් තල්මසුන් ගැන උනන්දුවක් ඇති කාන්තාවක්. දෙමාපියන් සමඟ වෙරළ තීරයට යන සෑම අවස්ථාවකම ඇය සාගරයේ සිටින ලොකු කුඩා ජීවීන් පිළිබඳ උනන්දු වෙලා තිබෙනවා.
ඇය වැඩිවියට පත්වෙනකොට ඇගේ උනන්දුව දෙගුණ තෙගුණ වෙලා. එම නිසා ඇය සාගර ජිව විද්‍යාව හදාරන්න දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා.
නමුත් මෙරට සරසවි පද්ධතිය තුළ සාගර ජීවවිද්‍යාව හැදෑරීමට තරම් පහසුකම් නොතිබූ නිසා ඇය එංගලන්තයේ සාන්ත ඇන්ඩ්‍රෙව් සරසවියෙන් සාගර ජිවවිද්‍යාව පිළිබඳ බී.එස්.සී උපාධිය ලබා ගන්නවා.
ඉන්පසු ඇය ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සරසවියෙන් පශ්චාත් උපාධියත් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධියද ලබා ගන්නවා.
Who Am I යනුවෙන් අන්තර්ජාලයට සම්පාදනය කරන ලද ලිපියක් නිසා ඇය පිළිබඳ මුළු ලෝකයේම අවධානයට ලක්වෙනවා.
එතැන් පටන් ඇය නිල් තල්මසුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන කාන්තාවක් බවට පත්වෙනවා. ඇය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නිල් තල්මසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන කාන්තාවක්.
2008 වර්ෂයේ දී ඇය නිල් තල්මසුන් රැකගැනීමේ ව්‍යාපෘතියක ද වැඩ කරනවා.
ඇගේ පරීක්ෂණ කටයුතු වලින් ඇය අනාවරණය කරගෙන ඇත්තේ නිල් තල්මසාගේ පැවැත්ම සාගර පද්ධතියේ පැවැත්ම හිතකර බවයි.
නිල් තල්මසුන්ගේ අසූචි සාගර පැලෑටිවල වැඩීමට හිතකර පෝෂක ලබා දෙන නිසා එය සමස්ත ලෝකයේම පරිසර පද්ධතියට වැදගත් වේ.
එසේ වුවත් නාවික ගමනාගමන කටයුතු නිසා සිදුවන නිල් තල්මසුන්ගේ මියයෑම් හේතුවෙන් ඉදිරියේදී සාගර පැවැත්මට අහිතකර තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බවද ඇය පවසනවා.
ඇගේ කැපකිරීම ඔස්සේ ඉදිරියේදී ලෝකයේම අවධානය නිල් තල්මසුන් වෙත යොමුවනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙනවා.