වික්‌ටර් රත්නායකයන්ගේ කලා දිවියට වසර හැත්තෑපහක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන වජ්‍රප්‍රභා ප්‍රසංගය පිළිබඳව සහ අතීත මතක සටහන් පිළිබඳව කතාබහ කරන්නට ඔහු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටියා . එම සංවාදය පහතින් දැක්වේ.
බණ්‌ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන මේ වජ්‍රප්‍රභා ප්‍රසංගය රටවටා යන්නක් නොවෙයි. එක ප්‍රසංගයකින් නිමවන එකක්. ඒ පිළිබඳව කතාබහ පසෙකට තියා වික්‌ටර් රත්නායකයානන්ගෙන් විමසුවේ ඔහු ගායකයෙක් වුණේ කොහොමද කියලයි. එයට හේතුවක් වූයේ අද අනුන්ගේ ගීතයක් ගයා සුපිරු තරු බවට පත්වන පහසු මංමාවත් විවර ඇති නිසාවනි. ඔහු මඳක් බලා සිටියේය.
"ඇත්තටම මට වයස අවුරුදු නවයේදී පමණ සිදුවුණ දෙයක් තමයි මම ගායකයෙක් වීමේ මඟ පෑදෙන්නේ. ඒ දවස්‌වල අපේ ගෙවල් පැත්තේ හවසට වගේම මඟුල් ගෙවල්වල වෙනත් විශේෂ අවස්‌ථාවල සාඡ්ජ පැවැත්වෙනවා. අපි ඕවාට බජව් කියලත් කියනවනේ. ඩොල්කියක් එහෙම ගහලා සර්පිනාවක් වාදනය කරලා සිංදු කියනවා ඒ වෙලාවට කියන ගීතවලට අපි කියන්නේ බයිලා කියලනේ... දවසක් ඔහොම එකක් අපේ ගෙවල් ළඟ තිබුණා. ඉතිං මමත් ගිහින් බලන් හිටියා සාඡ්ජෙට සහභාගි වුණ අය කෑමට ගෙට ගියාම මම ආසාවට අර හර්මෝනියම් එක නැතිනම් සර්පිනාව වාදනය කළා. ඒ ශබ්දයට එහි අයිතිකරුවා නැතිනම් වාදකයා මට කෑගහල පන්නා ගත්තා. "ළමයො ඕක සෙල්ලම් බඩුවක් නොවේ" ය කියලා.
ඉතිං ඔය සිද්ධිය අපේ තාත්තාට එයාගෙ මිතුරෙක් කියලා තිබුණා. තාත්තා මගෙන් මොනවත්ම ඇහැව්වෙත් නැහැ. ඔහොම ගිහින් ටික දවසක් ගියාට පස්‌සේ මට තාත්තා සර්පිනාවක් ගෙනත් දුන්නා. ඒක ඒ කාලේ කඩුගන්නාවේ රෝහලේ වැඩ කරපු ඩොක්‌ටර් වික්‍රමසූරිය මහත්තයා භාවිත කරපු සර්පිනාව. අපේ තාත්තා ඒ කාලේ රෝහලේ තමයි වැඩ කළේ. ලොකු සල්ලි කාරයෙක් නෙවෙයිනේ. ඊට පස්‌සේ ඉතිං තාත්තා සමහර දවසට මත්පැන් පොදක් තොල ගාලා එහෙම එනවා. එහෙම දවසට කියනවා පොඩි පුතේ අපි සර්පිනාව ටිකක් ගහමුද කියලා. ඉතිං මම සර්පිනාව වාදනය කරනවා. ඉගෙනගෙන නෙවෙයි. කනේ හුරුවට තමයි ඉතිං... ඔය හුරුව මට ඇති වුණේ අපි ගෙවල් ආසන්නයේ තිබුණා ටීටර් මඩුවක් එකේ පෙන්වන චිත්‍රපටවල නාට්‍යවල දෙබස් සින්දු එහෙම අපේ ගෙදරට ඇහෙනවා. ඒවා අහගෙන ඉඳල තමයි කනේ හුරුව ඇති කරගත්තේ. ඔහොම කාලයක් යද්දී මට අවස්‌ථාවක් ලැබෙනවා නුවර එම්.ජී.පී කලායතනයට යන්න. ඒ අවස්‌ථාව උදාවන්නෙ රේල්ලුවේ වැඩ කරපු ඩී. ඒ. ඩී. ධර්මදාස මහත්මයා නිසා. එයා තමයි මුලින් මට සර්පිනාව ගහන්න පුරුදු කළේ. දිගටම බැරි නිසා ඔහු අපේ තාත්තාට කියනවා මම නුවර පංතියකට යවන්න කියලා. ඔය කලායතනය පවත්වාගෙන ගියේ අපේ සිහ ශක්‌ති එකේ ආනන්ද පෙරේරාගේ පියතුමායි.
ඔය මං කීවේ 1950 ගණන්වල සිදුවීමක්. මම කටහඬ පරීක්‌ෂණයට පෙනී හිටියා. එහිදී මම ගායනා කළේ මගේම තනුවකට සැකසූ ගීතයක්. එය වේදිකා නාට්‍යයක ගීතයක්. මම ඒ වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්‌ෂක වරයා ලෙස කටයුතු කළා. ඔය පරීක්‌ෂණයෙදී බැලුවේ කටහඬ, වචන උච්චාරණය හරිද තනුවට ගයනවද කියලයි.
"තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත...."
"තොටුපල අයිනේ කවුද අතවනන්නේ " වැනි ගීත ඔබ ගැයුවා. මේ විරහ ගී වසර තිහහතළිහක් ගත වුවත් තාමත් රසිකයන්ට මතකයි. ඒ රසිකයන් අතර වර්තමාන රසිකයන් මෙන්ම ඔබේ සමකාලීනයන් ද සිටිනවා. නමුත් අද ගැයෙන විරහා ගී නමින් හඳුන්වන පද අප ට ඇහෙන්නේ මහ විලාපයන් ආකාරයටයි. එහි පද පවා මතකයේ රැදෙන්නේ නැහැ. "
"මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. අද මම මේ ගැන කතා කළොත් සමහර අය හිතයි මම තාරුණ්‍යයට වෛර කරනව කියලා. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් මට පේන ඇත්තයි කතා කරන්නේ. අපේ රටේ ජනතාව කෝටි දෙකයි ලක්‌ෂ විස්‌සක් හෝ ඊට මඳක් වැඩියිනේ. අනුන්ගේ ගීත කියලා කවදාවත් තමන්ට තැනක් හදා ගන්න බැහැ. මම කටහඬ පරීක්‌ෂණයට කිව්වෙ මගේම ගීතයක්. තමුන්ගෙ අනන්‍යතාවයක් සකසා ගත යුතුයි. නව රැල්ල කියලා මොකක් හරි වචන ටිකක් හදාගෙන ඔහේ කෑගහනවා. හරි ඉගෙනීමක් නැතිව ඔහේ කියන්නන් වාලේ මොනවා හරි වචන ටිකක් ලියාගෙන සංගීත භාණ්‌ඩ කිහිපයක් වාදනය කරලා කෑගහනවා. හොඳ දේවල් මිනිස්‌සු තාමත් වැළඳගන්නවා.. අමරදේවතුමන් ජෝතිපාලයන් වැනි අයට මිනිස්‌සු ආදරේ කළේ නිකම් නෙවෙයි.ඇත්තටම ඔවුන්ගෙ කලාවටයි ආදරේ කළේ. ඉතිං මටත් ඇහෙනවා ඔය අදෝනාවන්. මොනවා කරන්නද? ඒ ළමයින්ට හරි යමක් වටහලා දීලා හරි දෙයක් කරන්න මඟ පෙන්විය යුතුයි. එහෙම නැති වුණාත් ඉතිං අගාදයේ තමයි..."
මෙය අතිශයෝක්‌තියක් නෙවෙයි. ඔබ අපට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම ගායකයා. අද වන විට තාත්තාගේ ගීත පුතාල කියනවා. නමුත් ඔවුන්ද හරි යමක් කළාය කියලා මට හිතෙන්නේ නැහැ. ඔබේ පුතුන් දෙදෙනාද ඔබේ ආභාෂය ඇතිව හෝ නැතිව ඉදිරියට ඇවිල්ලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ?"
"කලාකරුවෙක් මේ මොඩලයට කියලා හදන්න බැහැ. හැදෙනවා මිසක. ජෝතිපලාගේ සිංදු කිව්වා කියලා කාටවත් එච්. ආර්. ජෝතිපාල වෙන්න බැහැ. ඒවගේමයි මිල්ටන් පෙරේරාගෙ පුතාල තාත්තාගේ ගීත ගයනවා. මිල්ටන් මල්ලවාරච්චිගේ පුතා මිල්ටන්ගේ ගීත ගයනවා. මර්වින්ගේ පුතාලත් එහෙමයි. අමරදේවතුමන් දක්‌ෂ ගායකයෙක් ඒත් පුතා ගීත ගයන්න හෝ වාදකයෙක් වූවේ නැහැ. වික්‌ටර්ගේ පුතාලත් එහෙම තමයි. ගායක තාත්තලාගේ පුතාලා අපට නිතරම තාත්තලාගේ මතකයන් අවදි කරනවා මිසක තමන්ට කියලා අනන්‍යතාවයක් හදාගෙන නැහැ. මගේ පුතාලත් එහෙම තමයි.අපේ අසල්වැසි ඉන්දියාවේ නිතින් මුකේෂ්ගේ පුතා නීල් නිතින් මුකේෂ් සමඟ ගීතයක් ගැයුවා ලතා මංගේෂ්කර්. ගීතය ගැයුමෙන් පසු කියනවා මං ඔබේ පියාට ගරු කරලා මේ ගීතය ගැයුවා. මෙය පළමු සහ අවසන් ගීතයයි කියලා. ඇයි එහෙම කිව්වේ කියලා අපි අවබෝධ කරගත යුතුයි. තාත්තා ගීත ගැයුවා කියලා පුතාලට ගීත ගයන්න බැහැ. හැම ක්‍ෂේත්‍රයකම එහෙම තමයි.
මං කැමති වික්‌ටර් රත්නායකයන් ගායකයෙක් නොවුණානම්?
මටත් හිතා ගන්න බැහැ මොනවා කරයිද කියලා අපේ දෙමාපියන් හරි මඟ යන්න මට අවශ්‍ය පාර සකසා දුන්නා කියලා තමයි මට හිතෙන්නේ.
ඔබ බී.එම්.අයි.සී.එච් හිදී පවත්වනු ලබන ප්‍රසංගය කුමක්‌ද? ඔබ කීවා ඒකපුද්ගල ප්‍රසංග නැවත කරන්නේ නැහැ කියලා.
ඔව් "ස" ප්‍රංසගය 1450 වාරයෙදී නැවත්තුවා. හැබැයි අමතක කරන්න එපා නැවතුණා නෙවෙයි. නැවතුණ ප්‍රසංග අපේ රටේ තියෙනවා. මගේ දිවියේ හැත්තෑපස් වන වසර සමරන දා උපන් දින තෑග්ගක් විදිහටයි මේ ප්‍රසංගය පවත්වන්නේ. රිදී ජුබිලිය ගෝල්ඩන් ජුබිලිය යනුවෙන් අපි විසිපහ පනහ සමරනවා නේ. හැත්තෑපහ ඩයමන්ඩ් ජුබිලිය. ඩයමන්ඩ් වටිනා දියමන්තියක් නේ. හැත්තෑපහට සංස්‌කෘතියෙන් කියන්නේ වජ්‍රප්‍රභා කියන්නෙ ආලෝකයට. ඒවගේ තමයි මේ වජ්‍රප්‍රභා ජන්ම සංවත්සර මියැසි ප්‍රසංගය පවත්වන්නේ. පෙබරවාරි 18 පවත්වන ප්‍රසංගය යළිත් කවදාවත් මේ කිසිවකුට නරඹන්න ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මෙය පැවැත්වෙන්නේ."
"හොඳයි මට කියන්න ඔබගේ දිවියේ නිරෝගී බවේ රහස කුමක්‌ද?"