හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය වත්ත ප්‍රදේශයේදී මෙම ත්‍රීරෝද රථය හදිසියේම ගිනි ගැනීමට ලක්ව ඇත්තේ එහි ගමන් ගත් පිරිස දැඩි භීතියට පත් කරමින්.
අද පෙරවරු 10:15 ට පමණ ත්‍රීරෝද රථයේ එන්ජින් කොටසින් එකවරම ගිනි ජාලා මතු වන්නට පටන් ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී රථය තුළ රියදුරාට අමතරව තවත් එක් මගියෙකු ගමන් කර ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනාම කිසිදු තුවාලයක් නොලබා ඉන් ඉවතට පැන තිබෙන්නේ දෛවෝපගත ලෙසයි.
ගින්න හටගත් සැනින් ක්‍රියාත්මක වූ රියදුරා සහ එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අනෙකුත් රියදුරන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ ක්ෂණික මැදිහත්වීම නිසා ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වීමට පෙර ගින්න නිවා දැමීමට හැකි වී තිබෙනවා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බවයි. සිද්ධිය පිළිබඳව හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.