රන්වීර් සහ දීපිකා යුවළ තමන්ගේ දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින බව ලොවට හෙළි කළේ හරිම අපූරු විදිහකට. ඔවුන්ගේ මාස 19ක් වයසැති දියණිය වන "දුවා", ධනාත්මක ගැබ්ගැනීමේ පරීක්ෂණ කට්ටලයක් (Positive Pregnancy test kit) අතැතිව සිටින සංවේදී ඡායාරූපයක් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ප්‍රියංකා චොප්රා සහ කියාරා අද්වානි වැනි තරු ඇතුළු මිලියන ගණනක් රසිකයින් දැන් මේ පෝස්ටුව සුබ පැතුම්වලින් පුරවා දමමින් ඉන්නවා.
දැන් 40 වැනි වියේ පසුවන දීපිකා, ගර්භණී සමයේ පසුවුවත් සිය වෘත්තීය ජීවිතයට විරාමයක් තැබීමට සූදානම් නැහැ. ෂාරුක් ඛාන් සමඟ රඟපාන 'King' සහ අල්ලු අර්ජුන් සමඟ රඟපාන 'Raaka' යන දැවැන්ත සිනමාපටවල රූපගත කිරීම් ඇය අඛණ්ඩව සිදු කරනවා. විශේෂයෙන්ම 'Raaka' හි ක්‍රියාදාම ජවනිකා සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ඇය පෙනී සිටීම මුළු බොලිවුඩයම මවිතයට පත් කරන්නක්.
නමුත් මේ සතුට අතරතුර බොලිවුඩ් ක්ෂේත්‍රය තුළ ලොකු ගැටුමක් නිර්මාණය වෙලා. දීපිකා ඉල්ලා සිටියේ ගැබ්බර සමය නිසා තමන්ට දිනකට ලබා දිය හැක්කේ පැය 8ක සේවා කාලයක් පමණක් බවයි. නිෂ්පාදකයින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දීපිකා ලොකු තීරණයක් ගත්තා. ඒ අනුව ඇය Spirit (සන්දීප් රෙඩ්ඩි වංගාගේ අධ්‍යක්ෂණය) , Kalki 2898 AD 2
යන අති දැවැන්ත චිත්‍රපට දෙකෙන්ම ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මින් කෝපයට පත් Spirit අධ්‍යක්ෂ සන්දීප් රෙඩ්ඩි ඇයට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළත්, දීපිකා දුන්නේ කටවල් වැසෙන පිළිතුරකි.
"පිරිමි නළුවන්ට ලැබෙන වරප්‍රසාද කාන්තාවන් ඉල්ලද්දී ඇයි මෙතරම් කලබල වන්නේ?"
ඇය කියා සිටියේ තමාගේ කොන්දේසිවලට සහ ගරුත්වයට එකඟ නොවන කිසිවෙකු සමඟ වැඩ කිරීමට තමා බැඳී නොමැති බවයි. තම පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ගරුත්වයත් එකසේ රැකගන්නා දීපිකාගේ මේ නිර්භීත තීරණය ගැන දැන් මුළු ලෝකයම කතා වෙනවා.