චීනයේ සුප්‍රකට XPENG සමාගම පවසන්නේ තවත් වසර කිහිපයකින්, ඒ කියන්නේ 2027 වෙද්දී පියාඹන මෝටර් රථ සහ මිනිසුන් වැනි රොබෝවරුන් (Humanoid Robots) මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන බවයි.
සීතල යුද්ධයක් වගේ පවතින මේ තරගයේදී XPENG සමාගමට දැනටමත් පියාඹන කාර් 7,000කට අධික ඇණවුම් ලැබී තිබෙනවා. මේ වන විට චීනයේ ගුවන් බලධාරීන්ගෙන් ඒ සඳහා අවශ්‍ය අවසර පවා ලබා ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තවත් මාස 12ක් 18ක් ඇතුළත "රොබෝටැක්සි" (Robotaxis) දහස් ගණනින් නිෂ්පාදනය කර පරීක්ෂා කිරීමටත් ඔවුන් සූදානම්.
චීනය අලුත් ලෝකයක් මවද්දී, ලෝක ප්‍රකට ජපානයේ HONDA සමාගමට නම් මේක එතරම් හොඳ කාලයක් නෙවෙයි. දකුණු කොරියාව තුළ තම වාහන අලෙවිය මෙම වසරෙන් පසු අත්හිටුවීමට හොන්ඩා සමාගම තීරණය කර තිබෙනවා. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්‍රතිවාදී සමාගම්වලින් එල්ල වන දැඩි තරගයයි.
පසුගිය වසර පහ ඇතුළත චීනය තුළ පමණක් හොන්ඩා රථ අලෙවිය 60%කින් කඩා වැටී ඇති අතර තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින්ද ඔවුන්ගේ ඇණවුම් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.