රටේ අපරාධ රැල්ල සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාව දැන් වඩාත් දැඩි කර තිබෙනවා.
ඊයේ (07) දිනය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ මහා පරිමාණ මෙහෙයුම්වලින් සැකකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
පොලිස් නිලධාරීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ඊයේ දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 36,840ක් දැඩි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 526ක් පොලිස් දැලට හසුකර ගැනීමට හැකි වී තිබෙනවා.
පොලිස් දැලට කොටු වූ පිරිස මෙන්න:
අපරාධවලට සෘජුව සම්බන්ධ අය: 15ක්
විවෘත වරෙන්තුකරුවන්: 144ක් (කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි අය)
බීමත් රියදුරන්: 430ක්
අපරික්ෂාකාරී රියදුරන්: 124ක්
මෙම මෙහෙයුමේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 6,009කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය පදවමින් අනුන්ගේ ජීවිත අනතුරේ දාන පිරිස් හඳුනා ගැනීමට පොලිසිය මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබුණා.
දිවයින පුරා පවතින මේ දැඩි පොලිස් සෝදිසි මෙහෙයුම් ඉදිරි දිනවලදීත් නොකඩවා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
එබැවින් ගමන් බිමන් යාමේදී අවශ්‍ය ලියකියවිලි සහිතව නීතිගරුකව කටයුතු කිරීමට වගබලා ගන්න.