වසරකට අධික කාලයක් තිස්සේ තමන්ගේ අලුත්ම වාහනයට "අංක තහඩුවක්" නැතුව, කාඩ්බෝඩ් කෑලිවල අංකය ලියාගෙන පාරේ ගිය වාහන හිමියන්ට මෙන්න දැන් ඉතාමත් සතුටුදායක පුවතක් ලැබී තිබෙනවා.
ඒ වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුන ඇතුළත යළිත් වේගවත්ව ආරම්භ කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) කළ නිවේදනයයි.
මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරන්නේ, මේ වන විට මුද්‍රණය කිරීමට ඉතිරිව පවතින ආසන්න වශයෙන් අංක තහඩු 400,000ක පමණ ප්‍රමාණය ඉදිරි මාස තුන ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බවයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම මුද්‍රණ කටයුතු හදිසියේම අත්හිටුවීමට සිදු වූයේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති වූ ගැටලුවක් නිසාවෙන්.
මේ නිසා අලුතින් වාහන ලියාපදිංචි කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දෙපාර්තමේන්තුව විසින් අවසර දී තිබුණේ තාවකාලික අංක තහඩු ප්‍රදර්ශනය කරමින් පාරේ ගමන් කිරීමටයි.
දැන් ආරම්භ වීමට නියමිත නව අංක තහඩු නිෂ්පාදනය සාමාන්‍ය මුද්‍රණයකට වඩා එහා ගිය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.