තංගල්ල, මාවැල්ල මුහුදු තීරයෙන් අද ඇසෙන්නේ මුළු රටම කම්පා කරන අතිශය ශෝචනීය පුවතක්.
ඒ රටක් රකින්නට පෙරුම් පිරූ, වෛද්‍ය පීඨ සිසුවකු දිය රළකට බිලිවී ජීවිතයෙන් සමුගත් පුවතක්.
මිරිස්ස, පොල්අතු මෝදර පදිංචි මතීෂ නෙත්මිණ යනු සිය පවුලේ පමණක් නොව මුළු රටේම බලාපොරොත්තුවක් වූ තරුණයෙකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ඔහු, තව වසර කිහිපයකින් රටට සේවය කරන වෛද්‍යවරයකු වීමට සිහින දකිමින් සිටි අයෙකි.
පසුගියදා මතීෂ සිය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු සමඟ තංගල්ල, මාවැල්ල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් තිබුණේ නිවාඩුවක් ගත කිරීමේ අරමුණිනි.
එහිදී පවුලේ ඥාති තරුණයන් පිරිසක් සමඟ එක්ව මාවැල්ල මුහුදු තීරයට නෑමට ගිය මොහොතේ කිසිවෙකුත් මෙවැනි විපතක් බලාපොරොත්තු වූයේ නැත.
මුහුදේ නාමින් සිටියදී එක්වරම පැමිණි දරුණු රළ පහරකට මතීෂ හසුවී ඇති අතර, ඔහු මුහුද දෙසට ගසාගෙන ගොස් දියේ ගිලී තිබේ.
වහා ක්‍රියාත්මක වූ පිරිස ඔහුව බේරා ගැනීමට උත්සාහ කළත්, ඒ වන විටත් ඒ තරුණ ජීවිතය නිවී ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, අනාගත වෛද්‍යවරයකුගේ නිසල සිරුර දුටු ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් දැඩි සේ කම්පාවට පත්ව සිටිති.